නීති විරෝධී තැන්පතු ජාවාරම්වලට හසුවූවන්ගේ පාඩුව අවම කර සාධාරණයක් ඉටුකිරීමට මහ බැංකුව පියවර ගන්නා බව අධිපතිවරයා අවධාරණය කරයි.
නීති විරෝධී ලෙස මහජන තැන්පතු ලබාගන්නා පුද්ගලයින්ට සහ ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා අතරම, එවැනි අනවසර තැන්පතු යෝජනාක්රමවලට හසුවූ තැන්පත්කරුවන්ට සිදුව ඇති පාඩුව අවම කරමින් උපරිම සාධාරණයක් ඉෂ්ට කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණ බව මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.
අනවසර තැන්පතු පවත්වාගෙන යන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මහ බැංකුව ප්‍රධාන අරමුණු දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වන බව අධිපතිවරයා පැහැදිලි කළේය.
මහජන ධනය රැකගැනීමේ මූලික පියවර
මහජනතාව තමන් අතිශය අමාරුවෙන් උපයාගත් ධනය මෙවැනි අවදානම් සහිත හා වංචාකාරී තැන්පතු සඳහා යෙදවීම වැළැක්වීමත්, වංචාකාරී ලෙස මුදල් ලබාගෙන වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම වැළැක්වීමත් මහ බැංකුව ගන්නා ක්‍රියාමාර්ගවල මූලික අරමුණ බව ද ඔහු සඳහන් කළේය.
අනවසර තැන්පතුවලට හසුවූ පිරිස්වල පාඩුව අවම කිරීම සඳහා අදාළ ආයතනවල ගිණුම් අත්හිටුවීම මඟින් යම් මුදලක් රැකගැනීමට හැකි වන්නේ නම්, එම මුදල් ඉදිරියේදී අගතියට පත් තැන්පත්කරුවන්ට සාධාරණ ලෙස ලබාදීමට කටයුතු කිරීම දෙවැනි අරමුණයි.
මුදල් අහිමිවන වංචාකාරී උගුල
මෙවැනි වංචාකාරී යෝජනාක්රමවලදී ආරම්භයේදී මුදල් තැන්පත් කළ පිරිස්වලට යම් ප්‍රතිලාභයක් ලැබුණද, අවසාන කාලයේදී තමන්ගේ මුළු මුදලම තැන්පත් කළ බහුතරයකට තමන් තැන්පත් කළ මුදල පවා අහිමි වී දැඩි අසීරුතාවයකට පත්වන බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කරයි.
තමන් තැන්පත් කළ මුදලින් යම් කොටසක් හෝ නැවත ලබාගැනීමේ බලාපොරොත්තුවක් පවතින්නේ නම්, අදාළ නීති විරෝධී තැන්පතු ලබාගැනීම් සිදුවූ ආකාරය පිළිබඳ නිවැරදි තොරතුරු මහ බැංකුව වෙත ලබාදෙන ලෙස අධිපතිවරයා තැන්පත්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. මහ බැංකුවේ මූලික අරමුණ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම වන අතර, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සාර්ථක කරගැනීමට එම තොරතුරු අතිශයින් වැදගත් වේ.
ජාවාරම්කරුවන් රැකීමේ කූට උත්සාහයන්
අනවසර මුදල් ලබාගත් ආයතනවලින් මුදල් ලබාගෙන, තැන්පත්කරුවන් ආරක්ෂා කරන මුවාවෙන් අදාළ ජාවාරම්කාර ආයතන ආරක්ෂා කිරීමට ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ රැස්වීම් පවත්වමින් කටයුතු කරන බව ද හෙළි වී ඇත.
කෙසේ වෙතත්, බහුතරයක් සමාජ මාධ්‍ය හා ප්‍රධාන මාධ්‍ය ක්‍රියාකාරීන් ජනතාව දැනුවත් කරමින් මහ බැංකුවේ මෙම වැඩපිළිවෙළට අවංකවම විශාල සහයෝගයක් ලබාදෙන බව පවසන මහ බැංකු අධිපතිවරයා, අනවසර තැන්පතුවලට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග නොකඩවා ඉදිරියටත් පවත්වාගෙන යන බව අවධාරණය කරයි.
(සටහන | ජේ. මුණසිංහ)



