ජයග්‍රාහිකාවට සැප්තැම්බර් මාසයේදී කාම්බෝජයේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව
ශ්‍රී ලාංකේය කාන්තා නායකත්වය, පෞරුෂය සහ වෘත්තීය නිපුණතාව ඇගයීමට ලක්කෙරෙන Universal Woman Sri Lanka 2026 ජාතික තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ තරගකාරියන් 20 දෙනා අතරින් 10 දෙනෙකුම වෘත්තීය නීතිඥවරියන් වීම මෙරට රූ රැජින තරග ඉතිහාසයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කර තිබේ.
බාහිර රූපලාවණ්‍යයට පමණක් සීමා නොවී, සමාජ දැක්ම, තීරණ ගැනීමේ හැකියාව සහ බුද්ධිමය නායකත්වය පෙරදැරි කරගත් මෙම වේදිකාව හරහා නූතන ශ්‍රී ලාංකේය කාන්තාවගේ වෘත්තීය අනන්‍යතාව සහ පෞරුෂය මනාව පිළිඹිබු වන බව නිරීක්ෂණය වේ.


අධිකරණ ශාලාවෙන් කැට්වෝක් වේදිකාවට
චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණGFlock ඉදිරිපත් කරන මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂණය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ විලාසිතා සහ කැට්වෝක් පුහුණු උපදේශිකා චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ විසිනි. තරගකාරියන්ගේ පෞරුෂ වර්ධනය, ජාත්‍යන්තර තරග නීති රීති, කථිකත්වය, ශාරීරික යෝග්‍යතාව සහ සමාජ දැනුවත්භාවය ඉහළ නැංවීම වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් දැනටමත් ක්‍රියාත්මක කර ඇත.
නීති ක්ෂේත්‍රය වැනි ඉහළ වගකීම් සහිත වෘත්තීන්හි නියැලෙන කාන්තාවන් මෙලෙස ජාතික මට්ටමේ වේදිකාවකට පිවිසීම, සාම්ප්‍රදායික රූ රැජින තරග සංස්කෘතිය ඉක්මවා ගිය ප්‍රගතිශීලී ප්‍රවණතාවක් ලෙස සැලකේ.


විනිශ්චය මණ්ඩලය සහ අවසන් මහා රාත්‍රිය
තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන අගෝස්තු 30 වැනිදා කොළඹ වෝටර්ස් එජ් (Waters Edge) පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙහි විනිශ්චය කටයුතු ප්‍රවීණ විලාසිතා නිර්මාණවේදී සේනක ද සිල්වා, සුප්‍රීම් ටීවී (Supreme TV) ප්‍රධාන විධායක නිලධාරී දර්ශී ගමගේ සහ ජනප්‍රිය රංගන ශිල්පී සුරාජ් මාපා ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබයි. මෙහි ප්‍රධාන මාධ්‍ය අනුග්‍රාහකත්වය සුප්‍රීම් ටීවී ආයතනය විසින් සපයයි.


ජාත්‍යන්තර කිරුළ ඉලක්ක කරගත් ගමන

මෙහිදී කිරුළ දිනාගන්නා ජයග්‍රාහිකාවට 2026 සැප්තැම්බර් මාසයේදී කාම්බෝජයේ පැවැත්වීමට නියමිත Universal Woman 2026 ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවේ. සංස්කෘතික තානාපතිවරියක ලෙස ශ්‍රී ලංකාවේ අනන්‍යතාව, බුද්ධිමය මහිමය සහ කාන්තා සවිබලගැන්වීම ජාත්‍යන්තර තලයට රැගෙන යාම ඇයගේ මූලික වගකීම වනු ඇත.
මතු පලවන වීඩියෝව මඟින් කාම්බෝජයේ පැවැත්වීමට නියමිත Universal Woman 2026 ජාත්‍යන්තර තරගාවලියේ නිල පසුබිම සහ එහි ජාත්‍යන්තර ව්‍යුහය පිළිබඳ පැහැදිලි දළ විශ්ලේෂණයක් සපයයි.




