*යාපනය සිට පොතුවිල් දක්වා මුහුද රළු වෙයි; කුඩා හා එක්දින ධීවර යාත්‍රාවලට මුහුදු යාම තාවකාලිකව තහනම්
කැලණි ගඟේ ජල මට්ටම ඉහළට සහ පහත්බිම්වලට අවදානම
දිවයිනේ නිරිතදිග කලාපයට බලපා ඇති සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට තද වර්ෂාපතනයක් ලැබෙමින් පවතී. මේ හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුළ කැලණි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් අද (01) පෙ.ව. 7.30ට නිකුත් කරන ලද ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව, දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙම අවදානම පවතී. මෙම නිවේදනය අනිද්දා (03) පෙ.ව. 7.00 දක්වා වලංගු වන බව දන්වා ඇත. පවතින කාලගුණික තත්ත්වය මත ගඟේ ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බැවින්, එම ප්‍රදේශවල පදිංචි මහජනතාව, ගඟ පරිහරණය කරන්නන් සහ වාහන පදවන්නන් දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතු බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මි.මී. 100 ඉක්මවූ තද වැසි සහ තද සුළං
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය. මීට අමතරව, බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද නිවේදනය කර ඇත. මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී.
වෙරළාසන්න මුහුද රළු වීම සහ ධීවර කටයුතු තහනම් කිරීම
අයහපත් කාලගුණික තත්ත්වය සහ සුළඟේ වේගය ඉහළ යාම හේතුවෙන් දිවයිනේ වෙරළාසන්න මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත. ඒ අනුව, යාපනය සිට මන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකිය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එම මුහුදු ප්‍රදේශවල වෙරළාසන්න ධීවර කර්මාන්තයේ නිරත වන කුඩා සහ එක්දින ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව තාවකාලික තහනමක් පනවා ඇත. මේ වන විටත් මුහුදේ ධීවර කටයුතුවල නිරත වන යාත්‍රා ඇත්නම් හැකි ඉක්මනින් ආරක්ෂිතව ගොඩබිම වෙත පැමිණෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.




