දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පරදා රේගුව ලංකාවේ අංක එකේ බදු එකතු කරන්නා වෙයි; මුල් මාස 4න් ට්‍රිලියන 1.9ක් රජයට.
“මේක තාවකාලික වාහන සල්ලියක්, දිගටම පවත්වන්න බෑ” - ආර්ථික විශ්ලේෂකයන්ගෙන් රජයට අනතුරු ඇඟවීමක්.
ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ඉතිහාසයේ පෙරළිකාරී වෙනසක් සලකුණු කරමින්, නිරන්තරයෙන් හිඟ මුදල්වලින් බැටකෑ මෙරට අයවැය ලේඛනය වසර ගණනාවකට පසු ප්‍රථම වතාවට රුපියල් බිලියන 105ක අතිරික්තයක් (Budget Surplus) වාර්තා කර තිබේ. රජය පවසන්නේ පවතින බදු ප්‍රතිසංස්කරණ නිසා ආදායම වැඩි වූ බවයි.
එහෙත්, මුදල් අමාත්‍යාංශයේ නිල දත්ත දෙස බැලීමේදී පැහැදිලි වන්නේ මෙම වාර්තාගත ආදායමට සෘජුවම බලපා ඇත්තේ වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීම නිසා ලැබුණු අතිදැවැන්ත වාහන බදු මුදල් බවයි.
මුදල් අමාත්‍යාංශයේ නවතම වාර්තාවලට අනුව, 2026 ජනවාරි-අප්‍රේල් කාලය තුළ රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 1.96ක් දක්වා 34.6%ක දැවැන්ත වර්ධනයක් පෙන්වා ඇත. එම කාලය තුළ රජයේ වියදම් ඉහළ ගොස් ඇත්තේ 8%ක වැනි සුළු මට්ටමකිනි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පරදා රේගුව පෙරමුණට
දිගු කලක් තිස්සේ වසා දමා තිබූ වාහන ආනයනය නැවත විවෘත කිරීම නිසා, මෝටර් වාහන සඳහා පනවන සුරාබදු (Excise duties) පමණක් රුපියල් බිලියන 187.1ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ එම කාලයේදී මෙම ආදායම පැවතියේ රුපියල් බිලියන 53.2ක් වැනි පහළ මට්ටමකය. ඒ අනුව වාහනවලින් පමණක් රජයට ලැබුණු අතිරේක ආදායම රුපියල් බිලියන 134කි.
මෙම වාහන සල්ලිය නිසා, ලංකාවේ ප්‍රධානම බදු එකතු කරන්නා ලෙස හැඳින්වුණු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) පරදා ශ්‍රී ලංකා රේගුව පෙරමුණට පැමිණ ඇත. මුල් මාස 4 තුළ රේගුව පමණක් රුපියල් බිලියන 876ක් උපයා ඇති අතර, එය රටේ සමස්ත බදු ආදායමෙන් අඩකට ආසන්න වේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 780ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 97ක් බැගින් රජයට උපයා දී තිබේ.
ප්‍රාථමික අතිරික්තය සහ තාවකාලික පිබිදීමේ විවාදය
ණය පොලී ගෙවීම් ඉවත් කර ගණනය කරනු ලබන, රටක මූල්‍ය ස්ථාවරත්වය මනින ප්‍රධාන දර්ශකයක් වන "ප්‍රාථමික අයවැය අතිරික්තය" (Primary surplus) ද රුපියල් බිලියන 862.7ක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ එය පැවතියේ බිලියන 532.7ක් ලෙසය. ආනයනික භාණ්ඩ සඳහා අයකරන වැට් (VAT) බදු ආදායම ද 35%කින් ඉහළ ගොස් ඇති අතර රේගුව සිය වාර්ෂික ආදායම් ඉලක්කයෙන් 40%ක්ම මුල් මාස හතර තුළම සපුරාගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙම ආර්ථික පිබිදීමේ ස්ථාවරභාවය (Sustainability) පිළිබඳව ආර්ථික විශ්ලේෂකයන් ප්‍රශ්න කරති. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ආදායම වාහන ආනයනය නිසා එකවර මතු වූ තාවකාලික රැල්ලක් (Temporary spike) විය හැකි බවයි. වසරේ ඉදිරි මාසවලදී වාහන මිලදී ගැනීම් සහ ආනයන ඉල්ලුම අඩු වුවහොත්, මෙම ආදායම් වේගය දිගටම පවත්වාගෙන යාම රජයට අසීරු වනු ඇත. එහෙත්, දැනට පවතින තත්ත්වය අනුව බදු ඉතිහාසයේ දැවැන්තම ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කිරීමට වත්මන් රජය සමත්ව ඇත.
අදහස් සහ යෝජනා :
ලැබී ඇති මෙම රුපියල් බිලියන 105ක දුර්ලභ අයවැය අතිරික්තය රටේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සඳහා යොදා ගැනීමට රජය වහාම පහත පියවර ගත යුතුය.
1- 'Establishing a Sovereign Wealth/Stabilization Fund' (රාජ්‍ය ස්ථායීකරණ අරමුදලක් පිහිටුවීම):
වාහන බදුවලින් ලැබුණු මෙම අතිරේක බිලියන 134ක මුදල සාමාන්‍ය පරිභෝජන වියදම් සඳහා නාස්ති නොකර, ඉන් කොටසක් "රාජ්‍ය ස්ථායීකරණ අරමුදලක්" (Fiscal Stabilization Fund) වෙත බැර කළ යුතුය. වසරේ අගභාගයේදී වාහන ආනයන ආදායම අඩු වුවහොත්, අයවැය හිඟය පියවා ගැනීමට මෙම අරමුදල පවුරක් වනු ඇත.
2- 'Strict Utilization of Surplus for High-Yield Domestic Debt Retirement' (දේශීය ණය පියවීම):
මෙම අයවැය අතිරික්තය යොදාගෙන, දේශීය බැංකුවලින් රජය ලබාගෙන ඇති ඉහළ පොලී අනුපාත සහිත භාණ්ඩගාර බිල්පත් සහ බැඳුම්කර (High-interest domestic debt) කඩිනමින් පියවා දැමිය යුතුය. එමඟින් රජයට වාර්ෂිකව ගෙවීමට සිදුවන අතිදැවැන්ත ණය පොලී පිරිවැය සෘජුවම අඩු කරගත හැක.
3- 'Diversifying Non-Import Tax Infrastructure' (දේශීය බදු ව්‍යුහය ඩිජිටල්කරණය කිරීම):
රජයේ ආදායම තවදුරටත් ආනයන මතම (Customs-dependent) රඳා පැවතීම අවදානම් සහගතය. එබැවින් මෙම අතිරික්ත මුදල් කොටසක් වැය කර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ RAMIS පද්ධතිය මුළුමනින්ම නවීකරණය කරමින් බදු මඟහරින මහා පරිමාණ දේශීය ව්‍යාපාර බදු දැලට කොටු කරගැනීමේ ඩිජිටල් යටිතල පහසුකම් (Digital tax infrastructure) ශක්තිමත් කළ යුතුය.
(වාර්තාව - සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Vehicle Tax Windfall Drives Sri Lanka Into Rare Budget Surplus




