දින 21ක් පුරා උතුරු-දකුණු කොරිඩෝව යා කරමින් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ දෙරටේ සන්නද්ධ හමුදා අතර වන වෘත්තීය සහයෝගීතාව සංකේතවත් කරමින්, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු එක්ව සංවිධානය කරන "Friends for Ever" (සදාතනික මිතුරෝ) පාපැදි චාරිකාව අද (15) බත්තරමුල්ලෙන් ආරම්භ විය.
ඉන්දීය යුද හමුදාව සමඟ පවතින "Friends for Life" සහයෝගීතා සංකල්පයට සමගාමීව ක්‍රියාත්මක වන මෙම පාපැදි සංචාරය, කොළඹ සිට තමිල්නාඩුවේ චෙන්නායි දක්වා ගමන් කර යළි කොළඹට පැමිණීම දක්වා කිලෝමීටර් 1,511ක දුරක් ආවරණය කරයි.
ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු බලකායේ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමිත් බාලසූරිය, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමිත් ප්‍රේමලාල් සහ විශ්‍රාමික කර්නල් ප්‍රදීප් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනා මෙම ඓතිහාසික චාරිකාවට එක්ව සිටිති.
දෙරට යා කරන ගමන් මඟ
අගෝස්තු 15 වනදා බත්තරමුල්ලෙන් ගමන් ආරම්භ කළ කණ්ඩායම හලාවත, ගල්කඩවල, උයිර්තරසන්කුලම් සහ මුලන්කාවිල් හරහා අගෝස්තු 19 වනදා කන්කසන්තුරය (KKS) දක්වා ගමන් කිරීමට නියමිතය. අනතුරුව අගෝස්තු 20 වනදා කන්කසන්තුරය වරායේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ නාගපට්ටනම් වරාය වෙත ළඟාවනු ඇත.
නාගපට්ටනම් සිට කුඩික්කාඩු සහ කුවාතූර් හරහා අගෝස්තු 24 වනදා චෙන්නායි නගරය වෙත ළඟාවන මෙම නිලධාරීහු, එහිදී දින දෙකක විවේකයකින් පසු අගෝස්තු 27 වනදා ආපසු ගමන ආරම්භ කරති. යළි නාගපට්ටනම් වෙත පැමිණෙන ඔවුන් අගෝස්තු 31 වනදා මුහුදු මාර්ගයෙන් යළි කන්කසන්තුරයට පැමිණ, පලෙයි, වවුනියාව, දලදගම සහ සඳලංකාව හරහා සැප්තැම්බර් 04 වනදා බත්තරමුල්ල 'Home of Veterans' වෙත ළඟාවීමත් සමඟ මෙම දීර්ඝ චාරිකාව නිමාවට පත්වේ.
පාපැදි චාරිකාවේ කාලසටහන සැකැස්ම
ද්විපාර්ශ්වික සබඳතාවල නව මානයක්
කලාපීය ආරක්ෂාව සහ සහයෝගීතාව සම්බන්ධයෙන් දෙරට අතර පවතින හමුදා මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට අමතරව, මෙවැනි ක්‍රීඩාමය සහ සමාජයීය වැඩසටහන් මගින් ජනතා මට්ටමේ සුහදත්වය තවදුරටත් පුළුල් වන බව විචාරකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම විශ්‍රාමික හමුදා ප්‍රජාව අතර පවතින අන්තර්ජාතික සම්බන්ධතා සක්‍රීයව පවත්වා ගැනීමට මෙවැනි පියවර ප්‍රබල දායකත්වයක් සපයයි.






