"නඩුව කඩිනමින් අවසන් කිරීම ජනතා අපේක්ෂාවක්" - විනිසුරු පුරප්පාඩු ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්
විත්ති පාර්ශ්වයේ ස්ථාවරය සහ විත්තිවාචික කැඳවීම
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුකරයේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විභාගය ලබන සඳුදා (17) සිට දිනපතා පැවැත්වීමට අධිකරණය තීරණය කර තිබේ.
නඩුවේ චූදිතයන් වෙත එල්ල වී ඇති චෝදනාවලට අදාළව ඔවුන්ගේ විත්තිවාචික කැඳවීමෙන් අනතුරුව, ඒ ඒ චූදිතයාගේ ඉදිරි නීතිමය ස්ථාවරය විමසා බැලීම ඊයේ සහ අද දිනවලදී සිදු කෙරිණි. එහිදී විත්තිකරුවන් බහුතරයක් විත්තිකූඩුවේ සිට ප්‍රකාශ ලබාදීමටත්, තවත් පිරිසක් තමන් වෙනුවෙන් සාක්ෂිකරුවන් කැඳවීමටත් සූදානම් බව අධිකරණයට දැනුම් දී ඇත.
පාස්කු නඩු විභාගය - විත්ති පාර්ශ්වයේ ප්‍රධාන තොරතුරු
| විභාගය ඇරඹෙන දිනය: 2026 අගෝස්තු 17 වැනි සඳුදා සිට දිනපතා
| අධිකරණ ව්‍යුහය: විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල
| චෝදනා සහ සාක්ෂිකරුවන්: චෝදනා 23,000කට අධික සංඛ්‍යාවක් සහ සාක්ෂිකරුවන් 3,000ක්
| පළමු චූදිත (නවුෆර් මවුලවි):විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරන අතර වෙනත් සාක්ෂිකරුවන්ද කැඳවයි
| සුවිශේෂී තත්ත්වයන්: 6 වැනි චූදිත නිහඬව සිටීමට තීරණය කර ඇති අතර, 18 වැනි චූදිතයා මියගොස් ඇති බව වාර්තා වේ
චූදිතයන්ගේ ඉදිරි පියවර සහ අධිකරණ වාර්තාව
අධිකරණ වාර්තාවට අනුව, පළමු චූදිත නවුෆර් මවුලවි, තුන්වන චූදිත හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන්, සිව්වන චූදිත මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා සහ පස්වන චූදිත මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක් ඇතුළු පිරිසක් විත්තිකූඩුවේ සිට ප්‍රකාශ සිදුකිරීමට මෙන්ම තමන් වෙනුවෙන් සාක්ෂිකරුවන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරති.
දෙවන චූදිත මොහොමඩ් සරීෆුද් ආදම් ලෙබ්බේ (හජ්ජි මාමා), හත්වන චූදිත මොහොමඩ් සනුස්දීන් සහ දසවන චූදිත මොහොමඩ් සාෆි ඇතුළු පිරිසක් විත්තිකූඩුවේ සිට ප්‍රකාශ ලබාදුන්නද වෙනත් සාක්ෂිකරුවන් නොකැඳවන බව දන්වා ඇත. හයවන චූදිත මොහොමඩ් රිස්කාන් විත්තිකූඩුවේ නිහඬව සිටීමට තීරණය කර ඇති අතර, 18 වැනි චූදිතයා මේ වන විට මියගොස් ඇති බව නඩු වාර්තාවේ සටහන්ව තිබේ.
නඩුවේ ප්‍රගතිය සහ විනිසුරු පුරප්පාඩු පිළිබඳ ජනපති ස්ථාවරය
මේ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංවිධානයේ නියෝජිතයින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, මෙම ඓතිහාසික නඩුකරය කඩිනමින් අවසන් කිරීම සමස්ත සමාජයේම අපේක්ෂාවක් බවයි.
චෝදනා 23,000ක් සහ සාක්ෂිකරුවන් 3,000ක් සහිත මෙම නඩුව මෙහෙයවන ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කටයුතු අතරමග අඩපණ වීමට ඉඩ නොතබා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
උසස් අධිකරණවල පවතින විනිසුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, නඩු කටයුතුවල ස්වාධීනත්වයට සහ කාර්යක්ෂමතාවට බාධාවක් නොවන අයුරින් කඩිනමින් එම පත්කිරීම් සිදුකිරීමට පියවර ගන්නා බව ද තව දුරටත් සඳහන් කළේය.
පුරප්පාඩු පිරවීම...
ජනාධිපතිවරයා එහිදී තව දුරටත් මෙසේද පැවසිය.
''ඔබතුමාලා නිශ්චිත ලෙස සඳහන් කරපු පුරප්පාඩු පිරවීම පිළිබඳ ප්‍රශ්නය… මා ඒක මේ මාසයක් විතර ඇතුව මා අවසන් කරනවා. ඒක නිශ්චිත කරුණක් මත, මා ඒක මං ඔබට එක්ක කියන්නම්, ඉතා පැහැදිලි කරගන්න. පාස්කු නඩුව තියෙනවා. පාස්කු නඩුවේ තියෙනවා චෝදනා 23,000ක් තියෙනවා. සාක්ෂිකරුවෝ 3,000ක් ඉන්නවා.
ඒ ත්‍රිපුද්ගල මහාධිකරණයේ, අද මහාධිකරණවල ඉන්න ඉහළම විනිසුරුවරයා තමයි ඒ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝජනය කරන්නේ. එතකොට ඔහුට තමයි ඊළඟට, ඔබතුමාලා කියන පරිදිම ඔහුට තමයි ඊළඟට අභියාචනාධිකරණයට යාමේ අවස්ථාව තිබෙන්නේ. මා හොයලා බලපුවහම ඒ නඩුව අවසන් අදියරේ තියෙන්නේ.
ඒක සමාජයේ යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙළෙන නඩුවක්. ඒක අපි කවුරුත් දන්න එකක් ඒක. ඒ නිසා මගේ අපේක්ෂාවක් තිබුණා, එතුමා… එහෙනම් එතුමා අපි අභියාචනාධිකරණයට පත්කරන්න ඕනා. ඔබතුමාලා දන්නවා එහෙමනම් ඒ නඩුවට වෙන බලපෑම මොකක්ද කියලා. එතුමා පත් නොකර හිටියොත් එතුමාට වෙන බලපෑම… එතුමා විශේෂ නඩුවක වාඩිවීම එතුමාට අසාධාරණයක් වීමේ කරුණක්ද කියලා මං කල්පනා කරා. අන්න ඒක තමයි බලපෑම.
මේ පුරප්පාඩු තිබෙන්නේ සමාජයේ විශාල අවධානයට යොමුවුණු පාස්කු නඩුව පිළිබඳ අවසන්… මා දැක්කා අදත් වාර්තා වෙලා තිබුණා ඉතා ඉක්මනින් මේක අවසන් කළ හැකියි කියන වාර්තාව පළවෙලා තිබුණා. එතකොට ඒ සාධාරණත්වය ඉටු කිරීමේ අරමුණ විතරයි මට තිබුණේ. මා හිතනවා ඒක තමයි අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව තියෙන හොඳම නිදර්ශනයක් කියලා මං හිතනවා. යුක්තිය පිළිබඳ අපේක්ෂා කරන මිනිසුන්ගේ අපේක්ෂාවට තියෙන හොඳම සාහසිකයෙක් කියලා මම හිතනවා. මට ඕනනම් පාස්කු නඩුව කඩා වැටෙන්න දීලා දාන්න තිබුණා. චෝදනා 23,000ක්, සාක්ෂිකරුවෝ 3,000ක්, කවුද ඊළඟට මේ නඩුව අහන්නේ? කවුද ඇවිල්ලා ආයේ අහන්නේ? කවදද යුක්තිය දෙන්නේ මිනිස්සුන්ට? ඒක තමයි ඒක පිළිබඳව තිබුණේ.''




