ගාසා තීරයේ සහ ඊශ්‍රායලයේ ඇතිවෙමින් යන යුද ආතතිය සහ යුද අවදානම කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින

පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ඊශ්‍රායල, පලස්තීන සිවිල් වැසියන් ඝාතනය තරයේ හෙළාදකී.

නිදහස් පලස්තීන රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටින බවද එම පක්ෂය අවධාරණය කර සිටියි. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම කාරණා සඳහන් කර ඇත්තේ, පලස්තීන - ඊශ්‍රායල් යුද ගැටුම් සම්බන්ධ සිය දේශපාලන ස්ථාවරය ප්‍රකාශ කරමින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ. 

ඊශ්‍රායල, පලස්තීන සිවිල් වැසියන් ඝාතනය හෙළාදකිමු! 

33XU4UU highres 1696849772.jpg
ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරය පදනම් කර ගනිමින් මෙකී යුදමය තත්වය ඇති වී තිබෙන අතර ගාසා සිට බටහිර ඉවුර සහ ලෙබනනය දක්වා පලස්තීන ජනතාව වාර්ගික ශුද්ධයකට බඳුන් කිරීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද හමුදා සහාය ද ලබමින් ඊශ්‍රායලයේ සියොන්වාදී පාලනය ආක්‍රමණයක් දියත් කර ඇත. 

හමාස් ප්‍රහාරය සිදුවූයේ 1973 ඔක්තෝබර් 7 වැනිදා සිදුවූ යොම් - කිපූර් යුද්ධයේ 50 වන සංවත්සරය දිනයේදී මය. අධිරාජ්‍යවාදීන් මාධ්‍ය භාවිතා කරමින් හමාස් සංවිධානයේ ප්‍රහාරය පළමු ප්‍රහාරය ලෙසද, ඊශ්‍රායලයේ ආක්‍රමණය එයට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස ද අර්ථ දක්වමින් දෘෂ්ටිමය යුද්ධයක් ආරම්භ කර තිබේ. හමාස් සංවිධානය ඊජිප්තුව, ඉරානය සහ තුර්කිය වැනි කලාපයේ ප්‍රතිගාමී, ෆැසිස්ට් ලක්ෂණ සහිත ඉස්ලාමීය පාලන තන්ත්‍රයන් සමඟ සහයෝගීව කටයුතු කරන ආගමික මූලධර්මවාදී සංවිධානයක් වීම මෙම විනාශකාරී සහ වැරදි අදහස යුක්තියුක්ත කිරීම සඳහා යොදවා ගනිමින් සිටී. 

එල්ල වී තිබෙන යුද අවදානමට එරෙහි වීමේදී පලස්තීන ජනතාවගේ ස්වෛරීත්වය සහ නිදහස සම්බන්ධයෙන් ඉතිහාසයක් පුරා එල්ල වී ඇති ප්‍රහාරයද සමග සංයුක්තව එය සලකා බැලිය යුතුය. 

 
මෑත දිනවල ආර්ට්සාක් හි පිටුවහල් කරන ලද දස දහස් ගණනක් වූ ආර්මේනියානු ජනතාව සහ තුර්කි ඒකාධිපති පාලක එර්ඩෝගන්ගේ මර්දනයෙන් පීඩා විඳින කුර්දි ජනතාව පිළිබඳ අත්දැකීම්ද මේ හා සමග සැලකිල්ලට ගත යුතුය. අධිරාජ්‍යවාදී පිටුබලය ලත් ධනේශ්වර මාධ්‍ය ජාලයන් ලොව පුරා ප්‍රචාරය කරනු ලබන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ වැඩකරන ජනතාව සමග සහයෝගීතාව ගොඩනගන ලෙස අපි ලංකාවේ වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිමු. 
 
4043961 523017498
 
ගාසා තීරය ලොව විශාලතම එළිමහන් සිර කඳවුර යැයි පැවසුවහොත් එය වරදක් හෝ අතිශයෝක්තියක් නොවේ. ගාසා තීරය යනු ඊශ්‍රායලය, ඊජිප්තුව සහ මධ්‍යධරණී මුහුද අතර පිහිටි කිලෝමීටර 41ක් දිග, කිලෝමීටර 10ක් පළල භූමි ප්‍රදේශයකි. එහි මිලියන 2.3ක පමණ ජනතාවක් වෙසෙන අතර එය ලෝකයේ ඉහළ ම ජනගහණ ඝනත්වයක් ඇති ප්‍රදේශවලින් එකකි. ගාසා තීරය තුළ පලස්තීන ජනතාව කොටුවන සේ ඊශ්‍රායල මිලිටරි ඒකක ස්ථාපිත කර තිබෙන අතර දෛනිකව අත්අඩංගුවට ගැනීම්, පහරදීම්, මිලිටරි ප්‍රහාරයන් ඇතුළු සකලවිධ මර්දනයන් පලස්තීන ජනතාවට එල්ල වෙමින් තිබේ. 

ගාසා තීරය හමාස් සටන්කාමීන් විසින් පාලනය කරන නමුත් ඊශ්‍රායලය ගුවන් කලාපය සහ එහි වෙරළ තීරය පාලනය කරයි. දේශසීමා හරහා යා හැක්කේ කාටද සහ රැගෙන යා හැක්කේ කුමන භාණ්ඩද යන්නද ඊශ්‍රායලය විසින් සීමා කරනු ලබයි. සෙනසුරාදා උදෑසන ප්‍රහාර ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය ගාසා තීරයට ඇතුළු වන ආහාර සහ ඖෂධ ඇතුළු සියලු‍ සැපයුම් නවතා ඇත. දිගු කාලයක් පුරා ඊශ්‍රායල පාලනය පලස්තීනයේ සිවිල් වැසියන් ඝාතනය කළ අතර මෙවර හමාස් ප්‍රහාරය ඊට ප්‍රතිචාරයක් ලෙස එල්ල වූවක් වුව ඊශ්‍රායල සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාර එල්ල කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීම ඇතුළු ක්‍රියා අපි හෙළා දකිමු.

කෙසේවෙතත් පාලක පන්තියේ සහ අධිරාජ්‍යවාදයේ අභිලාෂයන් මත ආරම්භ කර ඇති යුද්ධය වහා අවසන් කිරීම සඳහා බල කරන ලෙස ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ වැඩකරන ජනතාවට අපි ආයාචනය කරමු.
 
පලස්තීන ජාතික විමුක්ති අරගලය සියොන්වාදයට මෙන්ම ඉස්ලාම් මූලධර්මවාදයට, අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයක් බවට පරිවර්තනය කරන ලෙස අපි පලස්තීන වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිමු. සිය ජාතික විමුක්ති අරගලය ජාතික සහ ආගමික අගතීන්ගෙන් නිදහස් කරගෙන පොදු මානව විමුක්තිය සඳහා වන අරගලය සමග ඒකාබද්ධ කරන ලෙස අපි මහත් ඕනෑකමින් ඉල්ලා සිටිමු. 
 
ජාතික විමුක්තිය ආගමික මූලධර්මවාදය හෝ ජාතිවාදය හරහා අත්පත් කරගත නොහැකි අතර ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී - සමාජවාදී පදනමක් මත අරගලය යළි ස්ථානගත කළ යුතුය. එමෙන්ම පලස්තීන ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරමින්, පලස්තීනය වටලෑමට සහ පලස්තීන ජනතාව සමූලඝාතනය කිරීමට ඊශ්‍රායල ආණ්ඩුව අධිරාජ්‍යවාදීන් සමග එක්ව ගෙනයන මර්දනීය පිළිවෙත පරාජය කිරීමට බලමුළු ගැන්වෙන ලෙස අපි ඊශ්‍රායලයේ වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිමු. ඒ සඳහා ප්‍රතිගාමී නෙතන්යාහු පාලනය ඇතුළු ඊශ්‍රායල පාලක පන්තියේ ජාතිවාදී පදනම් පරාජය කළ යුතුය. ඒ සඳහා වන විභවය ඇත්තේ ඊශ්‍රායල වැඩකරන ජනතාව ප්‍රමුඛ පීඩිත ජන කොටස් වලට පමණි. 
 
කලාපයට ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක යුද නෞකාවක් යැවීම ඇතුළුව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් සිදුකරන මෙහෙයුම් වහා නතර කිරීම සඳහා එක්ව, සමගිව කටයුතු කරන ලෙස අපි දෙපාර්ශවයේ ම පීඩිත ජනතාවගෙන් ඉල්ලා සිටිමු. 

අධිරාජ්‍යවාදී මාධ්‍යවල දෘෂ්ටිමය බලහත්කාරයේ ගොදුරු බවට පත් නොවී පලස්තීන ජනතාවගේ නිදහස සහ අයිතීන් වෙනුවෙන් ඉදිරිපත් වන ලෙසද මෙම කලාපය රුධිරයෙන් නහවාලීමේ අරමුණ ඇතිව සිදුකෙරෙන අධිරාජ්‍යවාදී මැදිහත්වීම් වැළැක්වීමට එක්වන ලෙසද අපි ලංකාවේ ප්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලා සිටිමු. මෙම දුෂ්කර සහ අවදානම්කාරී අවස්ථාවේදී පලස්තීන ජනතාවට ලාංකේය වැඩකරන ජනතාවගේ සහයෝගීතාවය ප්‍රකාශ කරන අතරම ගෝලීය අධිරාජ්‍ය විරෝධී පුළුල් මධ්‍යස්ථානයක් ගොඩනැගීමට ආරාධනා කරමු. ''

සබැඳි ලිපි :
හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහරදුන්නේ ඇයි?

'හමාස් ත්‍රස්තවාදය' ගැන කතා කරන්න කලින් දත යුතු ඉතිහාසය - (කුසල් පෙරේරා)

The Israeli-Palestinian Conflict: Unpacking Global Geopolitics, Challenges, and Future Scenarios - (Aryan D.M.)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්