"පොදු ව්‍යාපාර කාරක සභා (COPF/COPA) නිහඬයි; පාර්ලිමේන්තුවේ මුදල් බලය අහෝසි වෙලාද? - සිද්ධිය වී මාස 8ක් ගතවුවත් එකම වාර්තාවක්වත් නෑ!"
"භාණ්ඩාගාර ගිණුම බිලියන 915 සිට 500 දක්වා බහී; බිල්පත් සහ බැඳුම්කර විකිණෙන්නේ භාගයයි: තෙල් මිල ඉහළ දැමීම හැර රජයට වෙනත් විකල්පයක් නැති ලකුණු!"
මෙරට මූල්‍ය ඉතිහාසයේ දරුණුතම සහ වඩාත් සංකීර්ණතම මහා පරිමාණ මූල්‍ය සාපරාධී ක්‍රියාවක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීම සඳහා වහාම "පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්" (PSC) පත් කරන ලෙස ‘ෆ්‍රී ලෝයර්ස් සංවිධානය’ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කතානායක ජගත් වික්‍රමරත්න ගෙන් නිල වශයෙන් ඉල්ලා සිටී.
පසුගිය 2025 නොවැම්බර් මාසයේදී ‘Export Finance Australia’ ආයතනයේ නමින් ව්‍යාජ ඉන්වොයිස් සකස් කරමින්, ඇමරිකාවේ TD බැංකුවේ පවත්වාගෙන ගිය 'Mish Global LLC' නැමැති සැකකටයුතු ගිණුමකට අරමුදල් බැර කිරීම හරහා මෙම මහා භාණ්ඩාගාර මංකොල්ලය ආරම්භ වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.
ප්‍රථම වරට 2026 ජනවාරි මාසයේදී විදෙස් ඊමේල් පණිවිඩ ‘bounced back’ වීමත් සමඟ කරුණු කරළියට පැමිණි මෙම වංචාවේ සැබෑ වටිනාකම පිළිබඳව මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය හෝ ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් නිවැරදි තක්සේරුවක් කර නොමැති අතර, විගණකාධිපතිවරයාගේ මතය අනුව මෙම පාඩුව ඇමරිකානු ඩොලර් 2,509,430ක් (ඩොලර් මිලියන 2.5කට අධික) තරම් බරපතළ වේ.
නව මහජන ණය කළමනාකරණ පනත (PDMA) යටතේ නිසි රෙගුලාසි සකස් නොකර ආයතන අතර පැවති දුර්වල සම්බන්ධීකරණය මීට මඟ පාදා ඇති බව පවසන ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, භාණ්ඩාගාරයේ කනිෂ්ඨ නිලධාරියෙකු වූ රංග රාජපක්ෂ ගේ අභිරහස් මරණයත් සමඟ සමස්ත වරද මියගිය පුද්ගලයා සහ පරිගණක ‘ෆයර් වෝල්’ (Firewalls) පිට පැටවීමට බලධාරීන් උත්සාහ කරන බවට බරපතළ චෝදනාවක් එල්ල කරයි.
ස්වාධීනත්වයට මුවා වී මහ බැංකුව සහ භාණ්ඩාගාරය වගවීමෙන් බැහැර වෙද්දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය ප්‍රකාරව මහජන මුදල් පිළිබඳ පූර්ණ බලය හිමි පාර්ලිමේන්තුවේ COPF සහ COPA වැනි කාරක සභාවන් මාස 8ක් ගතවන තුරුත් කිසිදු වාර්තාවක් ඉදිරිපත් නොකර මංකොල්ලය සැඟවීමට කාලය ලබාගන්නා මෙවලම් බවට පත්ව ඇතැයි ද ඔවුහු පවසති.
මෙම මූල්‍ය අස්ථාවරත්වය හමුවේ 2026 ජනවාරි මාසයේදී රුපියල් බිලියන 915ක්ව තිබූ භාණ්ඩාගාර ගිණුම් ශේෂය ජූනි 11 වන විට බිලියන 500 දක්වා දරුණු ලෙස කඩා වැටී ඇති අතර, පසුගිය සතියේ රජයේ බිල්පත් සහ බැඳුම්කර අලෙවිය ද 50%කට ආසන්න මට්ටමකින් අසාර්ථක වී ඇත. උද්ධමනය සහ විදේශ විනිමය පාලනයෙන් ගිලිහී යාමේ අවදානමක් පවතින මේ මොහොතේ, ජනතාව පිට තෙල් මිල ඉහළ දැමීමේ බර පැටවීමට පෙර, මෙම මහා මූල්‍ය අපරාධය සහ ඊට සමගාමීව සිදුවූ මහජන බැංකුව, තැපැල් දෙපාර්තමේන්තුව, එන්.ඩී.බී බැංකුව (රු. බිලියන 13.2ක වංචාව) ඇතුළු අනෙකුත් වංචාවන් පිළිබඳ සත්‍යය රටට හෙළි කිරීමට වහාම ක්‍රියාත්මක වන ලෙස ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නීතිඥ අතුල ද සිල්වා සහ හිටපු ආණ්ඩුකාර රාජිත් කීර්ති තෙන්නකෝන් ගේ අත්සනින් යුතුව යොමුකළ මෙම නිවේදනය මඟින් අවධාරණය කර තිබේ.
එම නිවේදනය මතු පළවේ.
අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා,
ජනරජයේ ගරු ජනාධිපතිතුමා,
ජනාධිපති කාර්යාලය, කොළඹ 1.
ගරු ජගත් වික්‍රමරත්න මැතිතුමා,
ගරු කතානායකතුමා,
පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර.
අතිගරු ජනාධිපතිතුමනි,
ගරු කතානායකතුමනි,
මහා භාණ්ඩාගාර - මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් විමර්ශන කිරීම හා මෙවැනි තත්වයක් යළි ඇතිවීම වලක්වා ගැනීම සඳහා සුදුසු පියවර යෝජනා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනාවයි
2025 නොවැම්බර් 13 – 15, අදින් මාස 8 කට පෙර අද වැනි දිනක, 'Export Finance Australia' ආයතනයේ නමින් පැමිණි ව්‍යාජ ඉන්වොයිස් හරහා, ඇමරිකාවේ TD බැංකුවේ පවත්වා ගෙන ගිය 'Mish Global LLC' නමැති සැකකටයුතු ගිණුමකට මුදල් බැර කිරීම මඟින් භාණ්ඩාගාර මංකොල්ලය ආරම්භ විය. 2026 ජනවාරි 06 දින යවන ලද ඊමේල් පණිවිඩ විදෙස් සේවාදායකයන්ගෙන් ආපසු හැරී ඒම (bounced back) හේතුවෙන් මෙම වංචාව ප්‍රථම වරට හෙළි වීම ඇරඹුණි.
2025 දෙසැම්බර් - 2026 ජනවාරි 05 වන විට ව්‍යාජ ලියකියවිලි හරහා ඇමරිකානු ඩොලර් 203,417ක මුදලක් ඇතුළු තවත් මුදල් ගෙවීම් කිසිදු පරීක්ෂාවකින් තොරව සිදු වුවේය. මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ මතය අනුව, මේ ගෙවීම ඩො.මි. 2,509,430 කි. මෙයින් පැහැදිලි වන්නේ අවම වශයෙන් භාණ්ඩාගාර මංකොල්ලයේ සැබෑ වටිනාකම පිළිබඳ නිශ්චිත අවබෝධයක් හෝ මුදල් අමාත්‍යාංශය/භාණ්ඩාගාරය/ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නොමැති බවයි.
2024 ජූනි - දෙසැම්බර්: නව මහජන ණය කළමනාකරණ පනත (PDMA) සම්මත වී බලාත්මක වීම සහ දෙසැම්බරයේදී නව කාර්යාලය (PDMO) ස්ථාපිත කිරීම සිදුවිය. 2025 සැප්තැම්බර්: අවශ්‍ය නීති රීති සහ රෙගුලාසි සම්පූර්ණයෙන් සකස් කර නො තිබුණ ද, නව කාර්යාලය මෙහෙයුම් සඳහා සූදානම් බව ප්‍රකාශ කිරීම සිදුවිය.
2025 ඔක්තෝබර් මැද: මහ බැංකුවේ අධීක්ෂණය යටතේ භාණ්ඩාගාරය විදේශ ණය ගෙවීම් සහ බැඳුම්කර වෙන්දේසි ආරම්භ වූ නමුත් මෙම ආයතන අතර නිසි සම්බන්ධීකරණය නොවීම හේතුවෙන් ගැටළු රැසක් පැණනැගුණි.
2026 අප්‍රේල් 22 දින මුදල් අමාත්‍යාංශය විසින් සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයේ තොරතරු විකෘති කිරීම, අභ්‍යන්තර ස්ථානමාරු කිරීම්, වැඩතහනම් කිරීම් රැසක් හේතුවෙන් මෙම වියවුල ගැන විවෘත ලිපියක් මගින් ජනරජයේ ගරු කතානායකතුමන් වෙතින් විමසීමට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය කටයුතු කළේය.
එයින් පසුව, ලිපි ගණනාවක් යොමු කරනු ලැබූ නමුත් පාර්ලිමේන්තුවේ කිසිදු නිලධාරියෙකු අවම වශයෙන් අප සංවිධානය වෙත ලිපි ලැබුණු බව දන්වා එවීමට තරම් හෝ වෘත්තීය භාවයක් පළ කර නැත. තව ද, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) වෙත ද මේ පිළිබඳ අවධානය යොමු කළෙමු. ඒ කිසිවක්, භාණ්ඩාගාර/මහ බැංකු මංකොල්ලය සිදුවී මාස 8 ක් ගත වන අද දිනට ජනරජයේ 148 ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට පැවරී ඇති මුදල් පිළිබඳ බලය ක්‍රියාවට නංවමින් එක වාර්තාවක් හෝ
සටහනක් ඉදිරිපත් කිරීමට අසමත්වී ඇත. පාර්ලිමේන්තුවේ මෙම කමිටු මේ මංකොල්ලය සැඟවීම සඳහා කාලය ලබා ගැනීමේ මෙවලමක් ලෙස භාවිත වෙමින් ඇත.
මෙයින් පැහැදිලි වන්නේ අප සංවිධානය විසින් කරුණු හෙලිදරව් නොකළේ නම්, මෙම කරුණු පූර්ණ ලෙස සැඟවීමට මුදල් අමාත්‍යාංශයට සහ මහ බැංකුවට හැකියාව තිබූ බවයි. මේ වන විට තවත්, මෙවැනිම මුල්‍ය අපරාධ රැසක් අනාවරණය වී ඇත. මහජන බැංකුවේ විදේශ විනිමය වංචාව, තැපැල් දෙපාර්තමේන්තුවේ ඩොලර් 625,000 ක් අතුරුදන්වීම, අස්වැසුම ද්විත්ව ගෙවීම්, මාර්ග සංවර්ධන අධිකාරියේ ද්විත්ව ගෙවීම්, එන්.ඩී.බී. බැංකුවේ රු.බිලියන 13.2 ක වංචාව එයින් කිහිපයකි. මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, භාණ්ඩාගාරය, පාර්ලිමේන්තු කමිටු මේ දක්වා තම ජාතික වගකීම ඉටු කිරීමට අසමත්වී ඇති බව පැහැදිලිය.
භාණ්ඩාගාරයේ කනිෂ්ඨ නිලධාරියෙකු වූ රංග රාජපක්ෂ ගේ මරණයත් සමඟම වරද ඔහුටත්, පරිගණක හා ‘ෆයර් වෝල්’ පිට පැටවීම දරණ උත්සාහය පැහැදිලිව හඳුණාගත හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුව හා භාණ්ඩාගාරය මේ මුල්‍ය අපරාධය සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරමින් අත පිසදා ගැනීමට උත්සහ දරමින් ඇත.
භාණ්ඩාගාර - මහ බැංකු මංකොල්ලය තවත් එක් වංචාවක් නොව මෙරට මුදල් පද්ධතියේ පවත්නා දුර්වලතාවයන් ද, මුදල් අමාත්‍යාංශයේ වෘත්තීය භාවයෙන් තොර ක්‍රියාකලාපය ද නිරාවරණය කරන්නකි. ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් පනත මගින් ස්වාධීන කිරීමෙන් පසුව කිසිදු පාර්ශවයකට ‘වගකීමක් නොදරන, වගවීමක් නොකරන’ ආයතනයක් බවට තමන් විසින්ම අර්ථ දක්වා ගැනීම පිළිබඳ ප්‍රශ්නයකි.
2026 මැයි 22: ආණ්ඩුව පැත්තෙන්, ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ අනාවරණයෙන් පුරා මාසයක් ගතවන දා, රාජ්‍ය ණය කලමනාකරණ පනතේ 37 වන වගන්තිය යටතේ වන ගැසට් නිවේදනය පළ කිරීම පමණක් මේ සම්බන්ධයෙන් පොදුජනතාවට නිල වශයෙන් සන්නිවේදනය වී ඇති එකම ප්‍රතිශීලි පියවරයි.
2026 ජනවාරි 1 දින රු.බි. 915 ක් වු භාණ්ඩාගාර ගිණුමේ ශේෂය 2026 ජූනි 11 දින රු.බි. 500 ටත් වඩා පහත වැටී තිබුණි. මේ වන විට රට ආර්ථික වශයෙන් බලවත් සන්ධිස්ථානයකට පැමිණ ඇත.
විදේශ විනිමය අනුපාතය පාලනය කළ නොහැකි මට්ටමකට පත්වී ඇති අතර උද්ධමනය වැඩිවෙමින් ඇත. දේශීය හා විදේශීය ණය බර වැඩිවෙමින් ඇති අතර ඉහළ පොලී අනුපාත යටතේ වුව ද, පසුගිය සතියේ භාණ්ඩාගාර බිල්පත් හා බඳුම්කර වලින් අලෙවි වී ඇත්තේ 51% ක් සහ 61% ක් පමණී. තෙල් මිල නැවත ඉහළ නැංවීම හැර වෙනත් විකල්පයක් රජයට නැත.
ඉහත සියළු කරුණු සැලකිල්ලට ගෙන මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය සම්බන්ධයෙන් විමර්ශන කිරීම හා මෙවැනි තත්වයක් යළි ඇතිවීම වලක්වා ගැනීම සඳහා සුදුසු පියවර යෝජනා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට පියවර ගන්නා ලෙස ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටී.
මෙයට විශ්වාසී,
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
නීතිඥ අතුල ද සිල්වා
සම කැඳවුම්කරු - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය




