අධි තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් සමාජ මාධ්‍ය මර්දනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්ව සිටින චීන ජනාධිපතිවරයා, අන්තර්ජාලයේ පලකෙරෙන තොරතුරු වාරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ඉදිරිපත් වී සිටින අතර පොලිසිය ලබාදෙන තොරතුරු කෙරෙහි විශ්වාසය තබන ලෙස අගමැතිවරයා ඉල්ලීමක් කර ඇත.
බෙයිජිං අගනුවර පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වෙමින් සිටියදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ඉල්ලීමක් පරිදි අන්තර්ජාල සහ සමාජ වෙබ් අඩවි අධීක්ෂණය සඳහා “කඩිනම් සහාය” ලබාදීමටත්, තාක්ෂණ විශේෂඥ කණ්ඩායමක් දිවයිනට එවීමටත්, චීන ජනපති ෂි ජින්පින් එකඟවූ බව ශ්‍රී ලංකාවේ ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.
පැරිසිය මුල් කොටගත් දේශසීමා නොමැති වාර්තාකරුවෝ (RSF) සංවිධානය විසින් 2018 සමීක්ෂණය කොට ඇති රටවල් 180 ක් අතරින් ජනමාධ්‍ය නිදහස සම්බන්ධ ජාත්‍යන්තර දර්ශකයේ චීනය සිටින්නේ 176 වැනි පහලම අඩියකය.
නවීන තාක්ෂණය දැවැන්ත ලෙස යොදා ගනිමින් ජනාධිපති ෂී ජින්පින් ප්‍රවෘත්ති හා තොරතුරු පාලනය කිරීමටත් චීන පුරවැසියන් ගේ අන්තර්ජාල කටයුතු සෝදිසි කිරීමටත් මැනවින් සමත් වී සිටින බව RSF විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් හෙළි කරයි.
චීනය සහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් බෙයිජිං නුවර සිදුකළ සාකච්ඡාවේදී ආරක්ෂක අංශ අතර සහයෝගිතා වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීම සහ බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු වැඩසටහන් පුළුල් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් කෙරුනු බව ශ්‍රී ලංකාවේ ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
“එමෙන්ම ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ ත්‍රස්තවාදය මැඩලීමේ දී මෙන්ම අන්තර්ජාල සහ සමාජ වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රචාර පතුරවමින් සැඟවී සිට ත්‍රස්තවාදය වපුරන පිරිස් සහ අපරාධ සිදු කරන්නන් හඳුනාගැනීමටත්, එම අපරාධ වළක්වා ගැනීම වෙනුවෙනුත් අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ දැනුම ශ්‍රී ලංකාවට නොමැති බවයි.
එම උපකරණ සහ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා කඩිනම් සහය ලබාදීමට මෙහිදී එකඟතාවය පළ කළ චීන ජනාධිපතිතුමා ඒ පිළිබඳ සොයා බැලීමට චීන තාක්ෂණික කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද කියා සිටියේ ය.”
“නව ජනමාධ්‍ය ආඥාව”
RSF සංවිධානය ප්‍රකාශ කරන පරිදි චීනය සිය මර්දනීය තාක්ෂණය භාවිතා කරමින් “නව ජනමාධ්‍ය ආඥාව” කට අනුගත වන ලෙස කලාපයේ රටවල ආණ්ඩු පොළඹවමින් සිටින අතර එය අග්නි දිග ආසියානු රටවල සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.
“බායිඩු සෙවුම් යන්ත්‍රය සහ වීචැට් පණිවිඩ හුවමාරු වේදිකාව ඇතුළු වාරණ හා සෝදිසි මෙවලම් අපනයනය කරමින්, සිය මර්දනීය විධික්‍රම අනුගමනය කිරීම සඳහා අධිකාරවාදී රාජ්‍ය දිරිගන්වමින් සිටී,” යි RSF පවසයි.
මේ අතර, ප්‍රහාර සම්බන්ධයෙන් වර්තමානයේ සිදුවන පරීක්ෂණ පිළිබඳ ජනමාධ්‍ය වල පලවන ප්‍රවෘත්ති පිළිබඳව අවිශ්වාසය පල කර තිබෙන අගමැතිවරයා “රහස්‍ය භාවයට යම් හානියක් සිදුවිය හැකි” නිසා සියලු තොරතුරු පැවසීමට කටයුතු නොකරන බව කියා සිටී.
“මාධ්‍යයට තම ප්‍රවෘත්ති විකාශයන් අලෙවි කර ගැනීමට අවශ්‍ය නිසා කුමන ආකාරයේ වාර්තා ඉදිරිපත් කළත් සත්‍ය තොරතුරු ලබාදෙන්නේ පොලීසිය හරහා පමණක් බව මම අවධාරණය කරනවා,” යි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායේ ක්‍රියාකාරීන් අමතා අරලිය ගහ මන්දිරයේදී ප්‍රකාශ කර තිබේ.
“රජය සහ ආරක්‍ෂක අංශ විසින් මේ පිළිබඳව විශාල වැඩ කොටසක් සිදු කළත් රහසිගත භාවය ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍ය නිසා ඒවා ජනතාවට හෝ ජනමාධ්‍යයට නිකුත් කරන්නේ නැහැ. නමුත් එවිට සිදු වන්නේ රජය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නවා යැයි මතයක් නිර්මාණය වීමයි. රහසිගත භාවය ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍ය බැවින් රජය සහ ආරක්‍ෂක අංශ දෝෂාරෝපණයට ලක්වෙමින් සිටින බවත් සිහිපත් කළ යුතුයි.”
රජය නොසන්සුන්ව සිටින බව
කෙසේවෙතත්, නිල ආයතන මගින් හෙළි නොකෙරෙන ජාතිවාදී ප්‍රහාර ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ තොරතුරු මහජනතාව අත පත්වීම සම්බන්ධයෙන් රජය නොසන්සුන්ව සිටින බව සමාජ මාධ්‍ය ක්‍රියාධාරීන්ගේ විශ්වාසයයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණ කෙටි කලකින් “විශාල ප්‍රගතියක්” අත්කර ගෙන ඇතැයි උදම් අනා ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය සන්නිවේදන බලකායට කියා ඇත්තේ ඒ සම්බන්ධයෙන් විදේශ ආයතන පවා මවිතයට පත්ව සිටින බවයි.
මෑත භාගයේ කලහකාරී ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් බොහෝ අවස්ථා වලදී ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාල අවහිර කරන්නට පියවර ගෙන තිබේ.
(gagana.lk)



