සංවිධානාත්මක පහරදීම්වලදී එම පහරදීම වැළැක්වීම වෙනුවට ඒවාට අනුබල දෙන ආකාරයෙන් ශ්‍රී ලංකා පොලීසියේ සහ ශ්‍රී ලංකා යූධ හමුදාවේ සාමාජිකයන් කටයුතු කර ඇති බවටත් සමහර පහරදීම් සඳහා එම සාමාජිකයන් සම්බන්ධ වී ඇති බවටත් චෝදනා එල්ලවී තිබේ.
මැයි මස 12 වෙනිදා රාත්‍රීයේ හා 13 වැනිදා එම පාහරදීම් සිදුවී තිබුණු අතර, මේ වන විට ආරක්ෂක අංශ ඒම පහරදීම්වලට උදවු කරමින්, එහි රැඳී සිටින ආකාරය දැක්වෙන සීසීටීවී වීඩියෝ දර්ශන ද ප්‍රසිද්ධ වී තිබේ. ඇතැම් පහරදීම් ඇඳිරි නීතිය පැවති අවස්ථාවේ කර තිබෙන අතර ඒවා වැළැක්වීමට හෝ ඒවාට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර නැත.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පල්ලියකට පහර දුන් අවස්ථාවේ හමුදා නිලධාරීන් 6 දෙනෙකු ඒ දෙස බලා සිටි බවත්, ඔවුන් එය වැළකීමට කිසිවක් නොකළ බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.
ඊට අමතරව ගල්ලොලුව නම් ගම්මානයේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළුන් දෙදෙනෙකු ගම්වාසීන්ට පහරදීමේ ක්‍රියාවට සම්බන්ධ වී ඇතැයි. එම ගම්වාසීහු චෝදනා කරති.
පොලිස් ඇප ලැබෙන සේ චෝදනා ගොනුකරලා !

මීට අමතරව පහරදීම්වලට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් පොලිස් ඇප මත නිදහස් කිරීමේ සිද්ධීන් කිහිපයක් ද වාර්තා වී තිබේ.
11 වැනිදා රාත්‍රියේ කුලියාපිටියේ වෙළෙඳසැලකට පහරදුන් පුද්ලයන් දෙදෙනෙකුද ඉංගිරියේ පල්ලියකට පරහරදීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 6 දෙනෙකුද මෙසේ නිදහස් කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදා මාධ්‍ය ඒකකයේ නිලධාරීහු පවසා සිටියේ යුද්ධ හමුදාවට සමාන ඇඳුම් ඇඳගත් පුද්ගලයෙකු කළහකාරී ස්ථානයක රැඳී සිටින වීඩියෝ කිහිපයක් යුධහමුදාවට ලැබී ඇති බවත් අදාළ නිලධාරීන් කවුරුන් දැයි හඳුනාගැනීමට මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්ය. එම පරීක්ෂණවලින් එම නිලධාරීන් වරදකරුවන් වුවහොත් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසීය.
මේ අතර අත්අඩංගුවට ගත් මැරයින්ට එරෙහිව සීවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පනත යටතේ චෝදනා ගොනු කළ යුතුව තිබියදී පොලිසිය විසින් සාමාන්‍ය නීතිය යටතේ ලා ඔවුන්ට සැලකීමෙන් පොලිස් ඇප දි මුදා හරින තත්වයක් ඇති වී ඇති බවද වාර්තා වෙයි.
කිසිදු ප්‍රචන්ඩ ක්‍රියාවක නොයෙදී හුදෙක් කෙටි කතාවක් ලිවීමේ චෝදනාවට ශක්තික සත්කුමාර නැමැති සාහිත්‍යකරුවෙකුට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පනත යටතේ චෝදනා ඉදිරිපත් කර මේ වන වට මාස දෙකකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර සිරගතව සිටින තත්වයක් යටතේ ජනවර්ගයක් ඉලක්ක කර මේ තරම් විනාශයක් කළ අන්තවාදී මැරයන්ට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කිරීමත් පොලිස් ඇප ලබාදී නිදහස් කිරීමත් නීති ක්ෂේත්‍රයේ විමතියට හේතු වී තිබේ.
(අනිද්දා)



