මෙම යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී රටේ බලශක්ති අවශ්‍යතාව සහ ආර්ථිකයට ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර ඇත.
සුළං බලාගාරය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ඇති වී ඇති ගැටලු පිලිබදව සොයා බලා ඒ සඳහා විසදුම් ලබා දීමට අවශ්‍ය ව්‍යුහයක් ඇති කිරීමටද මෙහිදී තීරණය වූ බවත් එසේම ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර, මේ වනවිට ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ද තීරණය කරන ලද බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.
බලශක්තිය යනු ප්‍රදේශයේ පමණක් නොව රටේ ජාතික සම්පතක් බවත්, විදුලිය ප්‍රශ්නය ගෘහස්ථ විදුලි බිලට පමණක් නොව රටේ නිෂ්පාදන පිරිවැය, විදෙස් ආයෝජන සහ සමස්ත ආර්ථිකය සමඟ බැඳී පවතින බවත් ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.
''සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව වැදගත්''
මෙම ව්‍යාපෘති මඟින් ජනතාවගේ ජීවන වෘත්තියට, ආර්ථිකයට හා ජීවිතය පවත්වාගෙන යාම සඳහා වන බලපෑම් සහ ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට රජය ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අවධාරණය කර තිබේ.
රටේ සියලුම සම්පත් මේ රටේ ජනතාවට අයිති බවත් බලශක්තිය යනු එක් ප්‍රදේශයකට සීමා වන දෙයක් නොව සමස්ත රටේම ජනතාවගේ අයිතියක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර තිබේ.
සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පමා කිරීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට තිබෙන අවස්ථාව මඟ හැරයාම බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා, සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධතා දැක්වීම නිසා සිදු වන්නේ ආයෝජකයින්ට, කර්මාන්තකරුවන්ට සහන ලබාදීමට ආණ්ඩුවට නොහැකි වීම බවද සඳහන් කර ඇත.
එම නිසා සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු පාර්ශ්ව එකඟතාවයන්ට පැමිණිය යුතු බවත් සංවර්ධන ව්‍යාපෘති සිදු කෙරෙන ප්‍රදේශයේ ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විසඳුම් ලබාදීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අවධාරණය කර ඇත.
''මධ්‍යම පරිසර අධිකාරියේ ඇගයීම් වාර්තා අනුමැතියකින් තොරව කිසිඳු ව්‍යාපෘතියක් ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ''
මෙහිදී මන්නාරම ප්‍රදේශය නියෝජනය කරමින් පැමිණි ආගමික නායකයින් ඇතුළු ජනතාව පවසා ඇත්තේ, ඉල්මනයිට් ව්‍යාපෘතිය සහ සුළං බලාගාර ව්‍යාපෘතිය නිසා පරිසර හානි මෙන්ම ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවය. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා මධ්‍යම පරිසර අධිකාරියේ ඇගයීම් වාර්තා අනුමැතියකින් තොරව එම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක නොකරන බව අවධාරණය කර තිබේ.
පරිසර වාර්තා සහ නිර්දේශ නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳවද එම ජනතාව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුම්වත් කරන ලද බවත්, මෙහිදී ජනාධිපතිවරයා මන්නාරම ප්‍රදේශයේ ජනතාවට මුහුණ දෙන ගැටලු සොයා බැලීම සඳහා මෙම ව්‍යාපෘතිය මසකින් කල් දමන බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එම කාලය තුළ ගැටලු සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී කියා තිබේ.
අදානි සමාගම මඟින් විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 8.26 කට මිලදී ගැනීමට තිබූ අතර එය ලංකාවේ මුදලින් රුපියල් 25කි. නමුත් මෙම සුළං විදුලි ව්‍යාපෘතියේ නිෂ්පාදිත විදුලි ඒකකයේ මිල ඇමරිකානු ඩොලර් ශත 4.65ක් වන අතර එය ශ්‍රී ලංකා රුපියල් 13ක්වේ. විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ සාමාන්‍ය මිල රුපියල් 13ක අවස්ථාවරයකට පවත්වාගෙන යාමට රජය සැලසුම් කර තිබේ.
උතුරේ ඉඩම් පිළිබඳ වාර්තාවක්...
උතුරේ කෝකිලායි පාලම ප්‍රතිසංස්කරණය කිරීම සහ මන්නාරම නව ජල යෝජනා ව්‍යාපෘතිය සඳහා ලබන අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
සුළං විදුලි බලාගාරය හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වයක් තිබේ නම් ඒ පිළිබඳ වාර්තාවක් සකසා දෙන ලෙස ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මෙහිදී සඳහන් කර ඇත.
ඉඩම් ගැටලු විසඳීම සඳහා, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ඉඩම් අමාත්‍යංශය සහ පරිසර අමාත්‍යංශය එක්ව උතුරේ ඉඩම් පිළිබඳ වාර්තාවක් සකස් කර යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.
උතුරු පළාත් ආගමික නායකයින්ද, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ සහ උතුරු පළාත නියෝජනය කරන පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මන්නාරම පුරවැසි කමිටු නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





