මේ මොහොත වන විට වැලිමඩ ඌව පරණගම ප්‍රදේශයේ අර්තාපල් ගොවියන්ගේ නිෂ්පාදනවලට ස්ථාවර මිලක් නොමැති බැවින් ඔවුන් අසහනයට පත්ව සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද මොනරාගල Grand Peral Resort හි, සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමග පැවැති හමුවක දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
වරායේ ගොඩබාන මිලට ම තෙල් දෙන්න බැරිලු
ඡන්ද කාලේ වරායේ ගොඩබාන මිලට ම තෙල් ටික දෙන බව කිව්වට රජයට ඒ කිසිවක් කරන්න බැරි වෙලා තියෙනවා. රණසිංහ ප්‍රේමදාස මහතා ඇගලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කරන විට ප්‍රේමදාස සුද්දියන්ට රට ඇදුම් මහනවා කියල රජයේ එවකට හිටපු නායකයෝ කිව්වා. හැබැයි අද විදේශීය ආයෝජකයන් 7 දෙනකුට කංසා වගා කරන්න මේ ආයෝජකයෝ අවසර දී තිබෙනවා. එදා නිෂ්පාදන කර්මාන්තයක් ලෙස ඇගලුම් කර්මාන්තය දියුණු කළත් අද වන විට ගංජා වගාවට අක්කර 64ක් ව්‍යාපෘති 7ක් යටතේ වෙන්කර තිබෙනවා.
නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපනය කඩාවැටෙනවා
ගැබිණි මව්වරුන්ට සිදු කරන සිසේරියන් ශල්‍ය කර්මය ක්‍රියාත්මක කරන්න බරපතළ ගැටලු නිර්මාණය වී තිබෙනවා. නිර්වින්දනය කළ පසු ඇති වන සංකූලතා මගහරවා ගැනීමට ඇති බෙහෙත් වර්ග හිඟයක් පවතිනවා. මේ සංකූලතා සමනය කරන්න ලබා දෙන වැදගත් ඖෂධ අද රටේ හිගයි. මෙය බරපතළ තත්ත්වයක්.
ආණ්ඩු බලය ගන්නා විට ඖෂධ හිගයට තිරසර ස්ථිරසාර විසඳුම් ලබා දෙන පැවසුවා. නමුත් අද වන විට නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපනය කඩාවැටෙමින් පවතිනවා. මෙවැනි තත්ත්වයක් තුළ රටේ ජනතාව සමග එකට සිටගෙන සිතුම් පැතුම් අවබෝධ කර ගෙන ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම සේවාව අප කළ යුතු යි."




