ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (අගෝස්තු 14) පැවැත්විණි.
* මුත්තු නගර් අක්කර 800ක ගොවි ඉඩම් කොල්ලය නවතනු !
* ඉන්දීය සමාගම් සිදු කරන ඉඩම් හා සම්පත් කොල්ලයට එරෙහි සටන අරඹමු !
මැයෙන් ත්‍රිකුණාමලය මුත්තු නගර් ගොවි පිරිසක් සහ ජන අරගල ව්‍යාපාරය එක්ව සංවිධානය කළ විරෝධතාවයේ දී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මෙසේ පැවසිය.
ඇයි මුත්තු නගර් වැසියන්ට විතරක් කුඩම්මගේ සැලකිලි...
අද දවසේ ත්‍රීකුණාමල මුත්තු නරගර් ප්‍රදේශයේ ජනතාව එක්ක අපි ජනතාධිපති ලේකම් කාර්‍යාලයට ආවේ බරපතළ ප්‍රශ්නයක් ගැන සාකාච්ඡා කරන්න. අද වෙද්දි මුත්තු නගර් ප්‍රදේශයේ පවුල් 351ක ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පැහර අරගෙන සමාගම්වලට විකුණමින් යනවා. මීට සති දෙකකට කලින් අපි ලිඛිතව මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලය දැනුවත් කළා. නමුත් කිසිඳු විසඳුමක් අපිට ලැබුණේ නෑ.
මේ බලහත් කාරයෙන් පැහැරගන්නේ මුත්තු නගර් වැසියන් පාරම්පරිකව වගා කරපු ඉඩම්. ඡන්ද කාලේ මේ ප්‍රශ්නෙට විසඳුම් දෙනවා කියලා කියපු මන්ත්‍රීලා අද මේ ජනතාවට පස්ස හරවලා. මෙ ඉඩම් ප්‍රශ්නය ගැන ආණ්ඩුවේ කාගෙවත් ඇස් හැරෙන්නේ නෑ.
ඊයේ ජනාධිපති අනුර දිසානායක කිව්වා සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී සියලු පාර්ශවයන් එක්ක සාකාච්ඡා කරනවා කියලා. ඒ අදහස එක්ක තමයි මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතිය මාසෙකට කල් දාලා තියෙන්නෙත්. අපි කියනවා ඒක හොඳයි. සියලු දෙනාගේ එකඟතාවය ඇතුව තමයි සංවර්ධන ව්‍යාපෘති කෙරෙන්න ඕන.
මේ ආණ්ඩුවට ජනතාව ඡන්දෙ දුන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන්. ඒ වෙනස කියන්නේ පරණ ආණ්ඩුවල ව්‍යාපෘති කිසිඳු සෙවිල්ලක් නැතුව නැවත ක්‍රියාත්මක කරන එක නෙවෙයි. නමුත් ආණ්ඩුව දැන් සූදානම් වෙන්නේ ඡන්දය දීපු ජනතාවට පයින් ගහලා සමාගම්වලට උවමනාවන් අනුව නැටවෙන්න. අපි ඉඩම් දෙන්නේ නෑ පුලුවන් දෙයක් කරගනිල්ලා වගේ ප්‍රවේශයකින් තමයි ආණ්ඩුව දැන් මුත්තු නගර් ගොවියන්ට උත්තර දෙන්නේ.
නමුත් අද අපි මෙතනට ආවේ ඒ උත්තරේ අරගෙන ඔළුව පහත් කරගෙන ගෙදර යන්න නෙවෙයි. මේ අහිසක ජනතාවගේ ඉඩම්වල අයිතිය නැවත ඔවුන් වෙත ලබාදෙන තුරු අපි අඛණ්ඩව අරගල කරන්න සූදානම්. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ බොරු විසඳුම් පෙන්නලා ප්‍රශ්නය මගහරින්න සූදානම් වෙන්න එපා. මුත්තු නගර් වැසියන්ගෙන් පැහැරගත් ඉඩම් ඔවුන්ට නැවත ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් දිගින් දිගටම අරගල කරන්න ජන අරගල සන්ධානය විදිහට අපි සූදානම්. "




