AmazonUK ආයතනය විසින් බ්‍රිතාන්‍ය වෙළෙඳපොලින් ඉවත් කර ඇත්තේ එරට විසින් මේ වසරේ මාර්තුවේ සම්බාධක පනවන ලද හිටපු නාවික හමුදාපති වසන්ත කුමාර් ජයදේව කරන්නාගොඩගේ ස්වයං ලිඛිත චරිතාපදානය වන 'අධිෂ්ඨානය' පොතේ ඉංග්‍රීසි මුද්‍රණයයි.
නීති විරෝධී ඝාතන සහ වධහිංසා පැමිණවීම වැනි ක්‍රියාකාරකම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා ඇති අයකුගේ ප්‍රකාශන විකිණීම එරට නීතිය උල්ලංඝනය කිරීමක් බව ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) විසින් අනතුරු ඇඟවීමෙන් පසු අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ 'The Turning Point: The Naval Role in Sri Lanka’s War on LTTE Terrorism' අලෙවියෙන් ඉවත් කොට ඇත.
ඉලක්කගත සම්බාධකවලට යටත් පුද්ගලයකුට කර්තෘ භාග ගෙවීම ඇතුළු සම්පත් ලබා දීම බ්‍රිතාන්‍යයේ සාපරාධී වරදක් වෙයි. එයට වසර හතක් දක්වා සිර දඬුවම් නියම කළ හැකිය.
වසන්ත කරන්නාගොඩ ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිව සිටි 2008-2009 කාල වකවානුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී තරුණයන් ඇතුළු පිරිමි11ක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක ප්‍රධාන චුදිතයකු වෙයි.
රහස් පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇති වාර්තාවන්ට අනුව පැහැර ගත්තවුන් සිරකොටගෙන සිටි ත්‍රිකුණාමලයේ ගන්සයිට් භූගත සිර මැදිරි සංකීර්ණය මෙන්ම, කොළඹ චෛත්‍ය පාරේ පිහිටි 'පිට්ටු බම්බුව' නම් රැඳවුම් කඳවුරද නාවික හමුදා විශේෂ බුද්ධි ඒකකය විසින් පවත්වාගෙන ගොස් තිබෙන්නේ එවක නාවික හමුදාපතිවරයාව සිටි වසන්ත කරන්නාගොඩ දැනුවත්වය.
"නාවික හමුදා මුලස්ථානයේ නීති විරෝධි සිර මැදිරි පවත්වාගෙන යාමට ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමට පමණක් අවසරයක් හා බලයක් නොමැති බවද, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ දැනුවත්ව හා ඔහුගේ අවසරය මත සිදුකරන ලද්දක් බවටද සාධාරණ සැකයක් මතුවේ," යි අධිකරණයට ඉදිරිපත් කෙරුණු වාර්තාවල දැක්වේ.
යුදබිමේ දී ප්‍රකට කල වීරත්වය ලෙසින් ශ්‍රී ලංකා රජය පිළිගන්නා ක්‍රියාකාරකම් සඳහා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති අතර, ඊට අමතරව විශිෂ්ඨ සේවා විභූෂණය, උත්තම සේවා පදක්කම, ශ්‍රී ලංකා ජනරජයේ සන්නද්ධ සේවා පදක්කම, ශ්‍රි ලංකා නාවික හමුදා 50 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිරිය සේවා පදක්කම, ජනපති පදවි ප්‍රාප්ති පදක්කම, 50 වන නිදහස් සැමරුම් පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, රිවිරැස මෙහෙයුම් සේවා පදක්කම ආදි වශයෙන් පදක්කම් රැසකින් පිදුම් ලබා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කර තිබේ.




