පසුගිය පෙබරවාරි මාසයේ පැවැති 2025 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (19) රාත්‍රියේ නිකුත් කෙරුණු අතර, ඉන් අපේක්ෂකයන් 225,748 දෙනෙකු උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව නව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.
මෙවර සමස්ත ප්‍රතිඵල ලේඛනය දෙස බැලීමේදී කැපී පෙනෙන ජයග්‍රහණ මෙන්ම අධ්‍යාපන පද්ධතියේ බරපතළ කඩාවැටීම් ද එකලෙස දැකගත හැකිය.
11,790කට 9A සාමාර්ථ: 7,419ක් සියල්ල අසමත්
ප්‍රතිඵල විශ්ලේෂණයට අනුව, මෙවර විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ගෙන් 11,790 දෙනෙකු විෂයන් 9ටම 'A' සාමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට දක්ෂතා දක්වා ඇත.
නමුත් එසේ විශිෂ්ටයන් බිහිවන අතරතුරම, විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ගෙන් 7,419 දෙනෙකු පෙනී සිටි සියලුම විෂයන් අසමත් වී (සියලු විෂයන් 'F') බිංදුවේ සීමාවට ඇද වැටී තිබීම ජාතික මට්ටමින් අවධානය යොමු විය යුතු ඛේදවාචකයකි.
විද්‍යාව සහ ගණිතය සාධනීය මට්ටමක
පසුගිය වසරට සාපේක්ෂව මෙවර විද්‍යාව සහ ගණිතය යන මූලික විෂයන් දෙකෙහිම සමත් ප්‍රතිශතයන් සුළු අගයකින් ඉහළ ගොස් ඇත.
විද්‍යාව විෂය:
මෙවර සමත් ප්‍රතිශතය 70.1%කි. (පසුගිය වසරේ 69.07%කි)
ගණිතය විෂය:
මෙවර සමත් ප්‍රතිශතය 72.03%කි. (පසුගිය වසරේ 71.06%කි)
පළාත් සටනින් දකුණ පෙරමුණට: උතුරු මැද අන්තිමට
පළාත් මට්ටමින් උසස් පෙළ සුදුසුකම් ලැබීමේ ප්‍රතිශත දෙස බැලීමේදී දකුණු පළාත ප්‍රමුඛස්ථානය ගෙන ඇති අතර, උතුරු මැද පළාත අවම සාධන මට්ටමක් වාර්තා කර ඇත. බස්නාහිර සහ නැගෙනහිර පළාත් දෙකම එකම ප්‍රතිශතයක් සටහන් කිරීම විශේෂත්වයකි.
පළාත් මට්ටමේ ප්‍රතිශත ශ්‍රේණිගත කිරීම:
දකුණ: 75.56%
බස්නාහිර / නැගෙනහිර: 74.42%
සබරගමුව: 74.31%
මධ්‍යම: 73.98%
ඌව: 71.34%
වයඹ: 70.69%
උතුර: 70.00%
උතුරු මැද: 68.39%
2026 සාමාන්‍ය පෙළ දෙසැම්බරයේ
ලබන වසරට (2026) අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය කාලසටහනට අනුව මෙම වසරේම දෙසැම්බර් මස 8 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇත. ඊට අදාළ විභාග අයදුම්පත් කැඳවීම ලබන ජූලි මස පළමු සතියේදී ආරම්භ වීමට නියමිතය.




