පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සති දෙකක කාලයකට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දෙමළ රසිකයන් අතර හිපොප් සංගී නමින් ප්‍රකට 24 හැවිරිදි ගනේෂ් කුමාර් සංගීතන් වහාම නිදහස් කරන ලෙස ජුනි 06 වැනි සෙනසුරාදා කිලිනොච්චියේ පැරනි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී දියත් කළ උද්ඝෝෂණයේදී විරෝධතාකරුවන් බල කර සිටියේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) වහාම අහෝසි කරන ලෙසයි.
පරිස්සමින් පරිහරණය කරන බවට ආණ්ඩුව විසින් සහතික කරන ලද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) යොදා ගනිමින් පොලීසිය විසින් ගනේෂ් කුමාර් සංගීතන් තරුණයා අත්අඩංගුවට ගෙන තිබුනේ ඔහු සමාජ මාධ්‍යයේ උඩුගත කළ විප්ලවීය ගීතයේ දෙමළ ඊළම යන වචනය තිබූ බවට චෝදනා කරමිනි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ "ප්‍රජාතන්ත්‍රවාදයේ උගුර හිර කරන PTA පනත වහාම ඉවත් කරනු!, ගායනා කිරීම ත්‍රස්තවාදයක්ද?, ජාතික කලාකරුවා වහාම නිදහස් කරනු!, දෙමළ ජනතාවගේ වේදනාවන් ගැන ගායනා කිරීම සහ ලිවීම අපරාධයක්ද?, නීතියේ නාමයෙන් සිදු කරන රාජ්‍ය ත්‍රස්තවාදය වහාම නවත්වනු!" ආදී සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් දියත් කළ විරෝධතාවය සදහා දෙමළ ජනතා නියෝජිතයන්, කලාකරුවන්, මහජන සංවිධාන නියෝජිතයන්, ආගමික නායකයින්, මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටි බවයි.
කිලිනොච්චියේ පැවැති විරෝධතාවය සදහා එක්ව සිටි ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ PTA පනත යොදා ගනිමින් දෙමළ තරුණ සංගීතඥයා අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බවයි.
"සංගීතන් තම ගීතය හරහා ජනතාවගේ හැඟීම් බෙදා ගත්තා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මනුෂ්‍යත්වයට සහ මානව හිමිකම්වලට එහා ගිය දෙයක්. අපි මෙය තරයේ හෙළා දකිනවා. "
ජනාධිපතිවරයාගේ වචන වලින් පමණක් දෙමළ ජනයාට විමුක්තිය ඉටු නොවන බව පෙන්වා දුන් ශිවඥානම් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා ජනාධිපති අනුර කුමාර දිසානායකට අවධාරණය කර සිටියේ රටේ සංහිදියාව සහ සාමය ස්ථිපිත කිරිමේ සැබෑ උවමනාවක් ඔහු සතුව පවතී නම් ත්‍රස්තවාදය වැලැක්විමේ පනත පොරොන්දු වූ පරිද්දෙන් වහාම අහෝසි කර එම පනත යටතේ රදවාගෙන සිටින සියළු දෙනා වහාම නිදහස් කරන ලෙසයි.
" ඔබ ආයුධ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමින් මෙම ජනතාවගේ සත්‍යය, ඔවුන්ගේ ජාතික විමුක්තිය පිළිබඳ සිහින සහ තරුණයන්ගේ නැගිටීම සැඟවීමට උත්සාහ කරනවා නම් ඒකෙන් පේන්නේ මේ රටේ සංහිදියාව පිළිබඳ ඔබේ සියලු වචන බොරු බවයි. සංහිදියාව හා සාමය අවශ්‍ය නම්, අනුර ආණ්ඩුව ඒකට නම් කැමති පළමුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන්න. සාමය ස්ථාපිත කරන්න. ජනතාව අත්අඩංගුවට ගැනීම නවත්වන්න. අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න. සිරගෙවල්වල දුක් විඳින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න. වචන පමණක් අපගේ ජනතාවට විමුක්තිය නෙමෙයි. මෙම අරගලය සහ දෙමළ ජනතාවගේ සිතුවිලි සැලකිල්ලට ගෙන එම තරුණයින් මානුෂීය හේතූන් මත නිදහස් කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා."
ගනේෂ් කුමාර් සංකීතන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ ගීතයේ විමුක්ති කොටි සංවිධානයට ප්‍රශස්ති ගැයීමක් හෝ විමුක්ති කොටි සංවිධානය යන වචනයක්වත් නොමැති කොටි සංවිධානයට අයත් ලාංඡන භාවිත කිරීමක් හෝ කොටි සංවිධානයේ නායකයා වූ ප්‍රභාකරන්ගේ නාමය, තහනම් කළ සංවිධානවල නම් සඳහන් නොකළ විප්ලවීය කවියක් වන බැවින් ඔහු අත්අඩංගුවට ගැනිමේ පදනම කුමක්දැයි දෙමළ තරුණ සංගීතඥයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ කේසවන් අධිකරණය හමුවේ ප්‍රශ්න කර තිබුනි.
ගනේෂ් කුමාර් සංගීතන් අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් විරෝධයක් මතු කරන දකුණේ දේශපාලකයන් පවසන්නේ කොටි සංව්ධානය උත්කර්ෂයට නංවන ගීත ආණ්ඩු පක්ෂය විසින් මැතිවරණ ප්‍රචාරයට යොදාගන්නා ලද බවයි.




