කළු කඩ මුදලාලිලා රකිමින් ගොවියා බඩගින්නේ තැබීමේ දේශපාලන සෙල්ලම!
“අපි වැරදි හදාගෙන සූදානම්” - සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදෙන නව ගමනක් ගැන නාමල්ගෙන් ඉඟියක්!
වත්මන් ආණ්ඩුව ජාතික ආරක්ෂාව මුළුමනින්ම අනතුරේ හෙළමින්, පාස්කු ප්‍රහාරයේ සැබෑ වාර්තා සහ ලිපිගොනු සඟවන ලද නිලධාරීන් ආරක්ෂා කිරීමේ නින්දිත ක්‍රියාවක නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ මෙරට ජනතාවගේ අවශ්‍යතාවයක් නොව, විදේශීය ඩයස්පෝරාවේ න්‍යාය පත්‍රයක් බව හෙළි කළ නාමල් රාජපක්ෂ, යුද්ධය ජයග්‍රහණය කරවීමට නායකත්වය දුන් බුද්ධි අංශ ප්‍රධානීන් දඩයම් කිරීමේ දේශපාලන පළිගැනීමක් වත්මන් පාලනය විසින් දියත් කර ඇති බවද අවධාරණය කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (ජූනි 07) කැකිරාව ප්‍රදේශයේ පැවති දැවැන්ත ජනහමුවක් අමතමිනි.
පාස්කු ප්‍රහාරයේ වගඋත්තරකරුවන් ආණ්ඩුවේ ඉහළ පුටුවල!

යහපාලන ආණ්ඩුව සමයේ බුද්ධි අංශ දුර්වල කිරීම හේතුවෙන් මෙරට අන්තවාදය හිස ඔසවා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වූ බව සිහිපත් කළ නාමල් රාජපක්ෂ, වත්මන් ආණ්ඩුවද ගමන් කරමින් සිටින්නේ එම විනාශකාරී මඟෙහිම බව පෙන්වා දුන්නේය.
"පාස්කු ප්‍රහාරය වෙනකොට වගකීම් පැහැර ඇරපු නිලධාරීන් අද මේ ආණ්ඩුවේ ඉහළම තනතුරු දරනවා. හැබැයි යුද්ධය අවසන් කරන්න බුද්ධි අංශයට නායකත්වය දීපු සුරේෂ් සලේව වගේ නිලධාරීන්ව අද හිර කරගෙන ඉන්නවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරුණු බෝම්බකරුවන් කියන්නේ ජේ.වී.පී එකේ ජාතික ලැයිස්තුවේ හිටපු කෙනෙක්ගේ පුත්තු මිසක් පොහොට්ටුවේ අය නෙවෙයි. මේවා යටගහන්නයි දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ." යනුවෙන් නාමල් රාජපක්ෂ එහිදී සෘජු චෝදනාවක් එල්ල කළේය.
රණවිරුවන්ට 'රණවිරුවෝ' කියන්න බැරි කොන්ද පණ නැති පාලනයක්!
88-89 භීෂණ සමයේ ගමටත්, හමුදාවටත් එරෙහිව අවි අතට ගත් ජේ.වී.පී කණ්ඩායම්වලට රට වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ගේ අගයක් නොදැනීම පුදුමයක් නොවන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. කැකිරාව වැනි එදා කොටි තර්ජනයට ලක්ව තිබූ මායිම් ගම්මානවල අහිංසක දරුවන් යුද බිමට ගොස් රට බේරාගත් මුත්, වත්මන් පාලකයන්ට කොන්ද කෙළින් තබා ඔවුන්ට ‘රණවිරුවන්’ යැයි කීමට පවා නොහැකි වී ඇත්තේ ඩයස්පෝරා බලපෑම නිසා බව හෙතෙම කියා සිටියේය.
පොහොර මිටිය 25,000යි: ගොවියා වට්ටා මහා පරිමාණ ව්‍යාපාරිකයන් රකින හැටි!

ආර්ථිකය සහ කෘෂිකර්මාන්තය මුළුමනින්ම කඩා වැටී ඇති බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ, විපක්ෂයේ සිටියදී කුඹුරුවල මඩ නාගනිමින් ගොයම් කොළ කෑ නායකයන් බලයට පැමිණි පසු ගොවියා අමතක කර ඇති බව පැවසීය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ වසර 10ක් පුරා රුපියල් 350ට ලබාදුන් පොහොර මිටිය, අද වන විට රුපියල් 18,000 සිට 25,000 දක්වා වූ අධික මිල ගණන්වලට කළු කඩයේ විකිණෙන තත්ත්වයට පත්ව ඇතැයිද, ආණ්ඩුවේ සැලසුම දේශීය ගොවියා සුරැකීම නොව පිටරටින් බඩු ගෙන්වන ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු තර කිරීම බවද ඔහු අනාවරණය කළේය.
කොවිඩ් වසංගතය හමුවේ ගෝඨාභය රාජපක්ෂ ගේ ආණ්ඩුව ආර්ථික අවාසි නොතකා ජනතාවගේ ජීවිත සහ රැකියා ආරක්ෂා කිරීමට කටයුතු කළ ආකාරයද ඔහු මෙහිදී අගය කළේය.
"අපේ අඩුපාඩු තිබුණා... හැබැයි අපි රට පාවා දෙන්නේ නෑ!"
පොහොට්ටු පාලන සමයේ ගනු ලැබූ ඇතැම් තීරණ දේශපාලනික වශයෙන් තමන්ට අවාසි වූ බවත්, විපක්ෂය විසින් ජනතාව නොමඟ යවමින් තමන් කෙරෙහි වැරදි චිත්‍රයක් මැවූ බවත් නාමල් මන්ත්‍රීවරයා පිළිගත්තේය.
"අපි කරපු වැරදි, අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගන්න අපි ලෑස්තියි. හැබැයි අපි කිසිම දවසක රටට, ජාතියට ද්‍රෝහී වෙන්නේ නෑ. අපි බොරු කියලා ඡන්දය ගත්තෙත් නෑ. අද ආණ්ඩුව කට ඇරියොත් කියන්නේ බොරු. උපාධිධාරීන්ට රස්සා දෙනවා කියලා අද ගහලා පන්නනවා."
අවසාන වශයෙන් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව, දේශීය සංස්කෘතිය හා ආගම රැකගනිමින්, නූතන ලෝකය සමඟ ගනුදෙනු කළ හැකි ශක්තිමත් තරුණ දේශපාලන බලවේගයක් ලෙස නැවත ගම් මට්ටමින් සංවිධානය වෙමින් පවතින බවයි.
.......




