ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරා මැතිවරණ ජයග්‍රහණ සඳහා සිවිල් සංවිධාන උපයෝගී කරගෙන, ඉන්පසු ඒවා 'තුට්ටු දෙකට' මායිම් නොකර විනාශ කර දැමීමේ සාම්ප්‍රදායික දේශපාලන අවස්ථාවාදයට තිත තබමින්, රටේ ස්ථාපිත වෙමින් පවතින ඒකාධිපති පාලනයට එරෙහිව දීර්ඝකාලීන ජාතික න්‍යාය පත්‍රයක් සහිත නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ලබන මාසයේදී එළිදක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියි.
විපක්ෂ නායක කාර්යාලයේදී සිවිල් සමාජ නියෝජිතයන් පිරිසක් හමු වූ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ, අද වන විට රට පාලනය වන්නේ ජනවරම අමු අමුවේ උල්ලංඝනය කළ, ප්‍රජාතන්ත්‍ර විරෝධී සාහසික ඒකාධිපති යාන්ත්‍රණයකින් බවයි.
විධායකයේ ආක්‍රමණය සහ මාධ්‍ය මර්දනයේ ‘ඔන්ලයින්’ සෙල්ලම
වත්මන් පාලන ව්‍යුහය දැඩි විවේචනයකට ලක් කළ විපක්ෂ නායකවරයා, බලතල ත්‍රිත්වය මත ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ තුලනය මුළුමනින්ම බිඳ වැටී ඇති බව පෙන්වා දුන්නේය.
"අද විධායකය ක්‍රමානුකූලව බලය ශක්තිමත් කරමින් ව්‍යවස්ථාදායකයේ බලය පලුදු කරනවා. අධිකරණ ක්ෂේත්‍රයට ඇඟිලි ගසමින් එහි ස්වාධීනත්වය විනාශ කරන්න කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි, 'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත' (Online Safety Act) උපයෝගී කරගෙන මාධ්‍ය නිදහස සීමා කරනවා වගේම ජනතාවගේ මූලික, ආර්ථික, සමාජයීය හා ආගමික අයිතීන් පවා උල්ලංඝනය කරමින් පවතිනවා," යැයි සජිත් ප්‍රේමදාස පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වැරදි ලෙස භාවිත කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සාහසික ලෙස විනාශ කරන මේ යුගයේ, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ 'සංවරණ හා තුලන' (Checks and Balances) රැකගත හැකි ශක්තිමත් සිවිල් සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.
"ලසන්තගේ කරපිටින් බලයට ඇවිත්, අද ඔහු අමතක කරලා!"
දේශපාලන බලය ලබා ගැනීම සඳහා මළසිරුරු පවා විකුණා දැමූ අතීත පාලකයන්ගේ නිරුවත හෙළි කරමින් විපක්ෂ නායකවරයා මෙහිදී අතිශය සංවේදී මෙන්ම දේශපාලනමය වශයෙන් බරපතළ ප්‍රකාශයක් සිදු කළේය.
"ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය වෙනුවෙන් කඳුළු හෙළූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ රටේ ඉන්නවා. ඔහුගේ මරණය උපයෝගී කරගෙන, ඒ මතින් බලය ලබා ගත් සෑම කෙනෙක්ම බලයට පත් වූ පසු ඒ මරණය ගැන සෙව්වේ නැහැ. ලබා ගත් වරම අමු අමුවේ පාවා දුන්නා. හැබැයි සමගි ජන බලවේගය නිර්මාණය කරන සිවිල් සමාජ ව්‍යාපාරය ජන වරම පාවා දෙන්නේ නැහැ. ලක්ෂ 220ක ජනතාව සමඟ අත්සන් කරන සමාජ ගිවිසුම අකුරටම ක්‍රියාත්මක කරන නෛතික බලයක් බවට අපි මෙය පත් කරනවා."
කොළඹ 7 ප්‍රභූ පැළැන්තියෙන් මිදී ‘ග්‍රාම නිලධාරී කොට්ඨාසයට’ යන නව ව්‍යුහය
2015 යහපාලන රජය බිහිකිරීමට මෛත්‍රීපාල සිරිසේන වටා රොද බැඳි සිවිල් සංවිධාන, මැතිවරණ ජයග්‍රහණයෙන් පසු දැවැන්ත කලකිරීමකට පත් වූ ආකාරය සිහිපත් කළ සජිත් ප්‍රේමදාස, තමන් ගොඩනඟන ව්‍යාපාරය මැතිවරණ ඉලක්ක කරගත් 'කල් ඉකුත් වන' ව්‍යාපාරයක් නොවන බව සහතික කළේය.
මෙම නව සිවිල් ව්‍යාපාරය අගනුවර කේන්ද්‍ර කරගත් ප්‍රභූ (Elite) කොටස්වලට පමණක් සීමා නොවී, පළාත් 9 ම සහ දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සහ ග්‍රාම නිලධාරී වසමකම ස්ථාපිත කරන බව හෙතෙම සඳහන් කළේය.
දූෂණ විරෝධී ක්‍රියාදාමය, කුසලතාව මත පදනම් වූ ක්‍රමවේද (Meritocracy), ජීවත් වීමේ අයිතිය සහ වත්මන් ප්‍රතිගාමී බදු ක්‍රමය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම මෙම ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු වන අතර, එය පශ්චාත් මැතිවරණ සමයේදී පවා ආණ්ඩුවේ ගමන් මඟ පාලනය කරන සක්‍රීය "සමාජ ගිවිසුමක්" වනු ඇතැයි ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
(දේශපාලන වාර්තාකරු, The Leader)




