අවුරුද්දකට වැඩි කාලයක් විමර්ශන කටයුතු නිරීක්ෂණයේ යෙදී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මේ වන විට හදුනාගන්නා ලද මිනිස් සිරුරු 318 න් 302 ක්ම ගොඩ ගෙන ඇති බවයි.
සමුහ සුසානයේ කැනීම් සිදු කරන තුන්වැනි අදියරේ 19 වැනි දිනය වු ජුනි 08 වැනි සදුදා මිනිස් සිරුරු 4 ක් ගොඩ ගත් අතර ඊයේ (08) දිනයේ අලුතින් මතුකරගෙන තිබු මිනිස් සිරුරු අතර දරුවන්ගේ අස්ථි කොටස් ද දැකගත හැකි වු බව නීතිඥ වී එස් නිරංජන් පළාත්බද මාධ්‍යවේදීන්ට වැඩි දුරටත් දැනුම් දී තිබුනි.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක් ගොඩගන්නා ලද 100 ට ආසන්න පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් හා කාසි කිහිපයක් ද වෙයි.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල ළමුන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.






