පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ, පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ පියා ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ජාතික ලැයිස්තුවේ සිටි බවත්, එම බෝම්බකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වත්මන් පාලකයන් වෙනුවෙන් මැතිවරණයට තරඟ කළ අයෙකු බවත්ය.
මෙම සත්‍ය කරුණු වසන් කරමින් වත්මන් රජයේ මැතිඇමතිවරුන් ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, "කරුණාකරලා මේකට නිවැරදි පරීක්ෂණයක් කරන්න, හැබැයි මේක දේශපාලන වේදිකාවේ මාතෘකාවක් කරගෙන පාස්කු වින්දිතයන්ට අසාධාරණයක් කරන්න එපා" යැයි දැඩිව අවධාරණය කළේය.
සුරේෂ් සලේ වැනි ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කර ගනිමින් දේශපාලන දඩයම් දියත් කිරීමට එරෙහි වන බවත්, තමන් සැමවිටම රට වෙනුවෙන් පෙනී සිටි රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
"ආර්ථික ඝාතකයෝ ගැන කියවන්න කලින් නඩු තීන්දුව කියවන්න"
රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කළ නාමල් රාජපක්ෂ, "ආර්ථික ඝාතකයෝ" ගැන කතා කිරීමට පෙර අදාළ නඩු තීන්දුව නිවැරදිව කියවා තේරුම් ගන්නා ලෙස පාලකයන්ට මතක් කර දුන්නේය. වත්මන් රජයට සහය දෙන ඇතැම් පාර්ශවයන් සහ එල්.ටී.ටී.ඊ (LTTE) සංවිධානය අතීතයේදී රටට සිදුකළ විනාශය, වත්මන් විදේශ ණය ප්‍රමාණය මෙන් දෙගුණයක් බව හෙතෙම පෙන්වා දුන්නේය.
ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා උපුටා දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, වත්මන් ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ වාර්තා අනුවම රටේ දරිද්‍රතාවය 25% ත් 30% ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි. 2012-2013 සමයේ 6.7% ක්ව පැවති දරිද්‍රතාවය අද වන විට බරපතළ ලෙස ඉහළ ගොස් ඇති අතර, ජනතාවට අධික බදු බර සහ විදුලි බිල දරාගත නොහැකිව රන් භාණ්ඩ උකස් කරමින් ජීවත් වන ඛේදනීය තත්ත්වයක් උදාවී ඇති බවද ඔහු සඳහන් කළේය.
දිට්වා කුණාටුවේ සහන වචනවලට සීමාවෙද්දී, වතුකරය සහ ගොවි-ධීවර ජනතාව අගාධයට
දේශීය නිෂ්පාදකයා, ගොවියා සහ ධීවරයා මුළුමනින්ම අමතක කර දමා ඇති රජය, තමන්ට හිතවත් ව්‍යාපාරිකයන් වෙනුවෙන් පිටරටින් හාල් සහ මාළු ගෙන්වීමේ ජාවාරමක නිරත වන බවටද නාමල් රාජපක්ෂ චෝදනා කළේය.
වරායෙන් කන්ටේනර් 323ක් පැන්නූ අය අද පාර්ලිමේන්තුවේ දේශන පවත්වන බවත්, බාල ගල් අඟුරු ගෙන්වීම නිසා සිදුවූ පාඩුව පියවා ගැනීමට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ ගණනින් දහනය කරමින් එම බර ජනතාව මත පටවා ඇති බවත් ඔහු පැවසීය.
මීට අමතරව, 'දිට්වා' කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මාස 7ක් ගතවීත් තවමත් 35,000කට අධික පිරිසක් තාවකාලික හෝ කුලී නිවාසවල දිවි ගෙවන බව අනාවරණය කළේය.
"ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී නිවාස සහ ඉඩම් වෙනුවෙන් ලක්ෂ ගණනින් වන්දි දෙනවා කියලා අමූලික පච ගැහුවා. හැබැයි අද ඒ සල්ලිත් නෑ, ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් මිලියන 100ක ප්‍රදානයට සහ මිලියන 300ක ණය මුදලට වෙච්ච දෙයකුත් නෑ" යැයි පවසමින් රාජපක්ෂ ප්‍රකාශ කළේ තමන්ගේ ප්‍රායෝගික අසමත්කම වසා ගැනීමට ආණ්ඩුව විපක්ෂයට චෝදනා කරමින් සිටින බවයි.




