කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලය අද (11) පස්වරුවේ උණුසුම් මුහුණුවරක් ගත්තේය. ඒ, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එහි රැස්වීමත් සමඟය. රැස්වීමේ මුලසුන දැරුවේ පක්ෂ නායක, 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි.
වර්තමාන දේශපාලන ගමන් මඟ තීරණය කරන තීරණාත්මක කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
පළමු කරුණ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමයි. පසුගිය මැතිවරණ ප්‍රතිඵල හමුවේ පසුබෑමකට ලක්වූ පක්ෂ සංවිධාන ව්‍යුහය යළි ගොඩනැඟීම මෙහි මූලික අරමුණ වී තිබේ. ඒ සඳහා බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක වන නව වැඩපිළිවෙලක් කෙරෙහි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවධානය යොමුවිය.
දෙවනුව, පක්ෂයේ අභ්‍යන්තර විනය පිළිබඳව දැඩි තීරණ කිහිපයක් ප්‍රකාශයට පත් කෙරුණි. පක්ෂයේ පොදු විනය නීති පද්ධතියට පටහැනිව කටයුතු කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසකට එරෙහිව ගෙන ඇති පියවර මෙහිදී අනාවරණය විය. පක්ෂ මහලේකම්, නීතිඥ තලතා අතුකෝරළ විසින් ඒ පිළිබඳ වාර්තාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළාය. මෙය පක්ෂ අභ්‍යන්තරය ස්ථාවර කිරීමට ගත් පියවරක් ලෙස දේශපාලන විචාරකයෝ දකිති.
තෙවන සහ වැදගත්ම කරුණ වූයේ ඉදිරි දේශපාලන උපායමාර්ගයයි. මෙහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ ඉදිරි දේශපාලන අභියෝගවලට තනිව මුහුණ දිය නොහැකි බවයි. ඒ සඳහා අනෙකුත් විපක්ෂ දේශපාලන පක්ෂ, බලවේග සහ සිවිල් සංවිධාන සමඟ පුළුල් සන්ධානයක් ගොඩනැඟිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

"රනිල්ගේ මොළය සහ සජිත්ගේ කඳ එකතු කරනවා වගේ විපක්ෂය ශක්තිමත් කළ යුතු බවට'' එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නවීන් දිසානායක පසුගිය ජූනි මස මුල් සතියේදී පමණ මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිති ශාලාවේ පැවැති එජාප දේශපාලන ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතමින් කළ ප්‍රකාශය ගැන සිහිපත්කළ එජාප නායකයා, තමාගේ හෘද සැත්කමෙන් පසු කඳ ද ශක්තිමත් වී ඇතැයි කියා සිටියේය.
පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කළේ මෙම රැස්වීම පක්ෂයේ ඉදිරි ගමන තීරණය කරන හැරවුම් ලක්ෂ්‍යයක් වූ බවයි. සන්ධානගත වීම සහ ප්‍රතිසංවිධානය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් එකඟතාවන්ට පැමිණි බව ඔහු පැවසීය.
දේශපාලන විශ්ලේෂකයන්ට අනුව, එජාපයේ මෙම නව ස්ථාවරය මඟින් පෙනී යන්නේ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් මෙරට දේශපාලන කරළියේ නව සන්ධානයක් බිහිවීමේ පෙරනිමිති පහළ වී ඇති බවයි. තනිව තරඟ වැදීම වෙනුවට පොදු පෙරමුණක් හැදීමේ රනිල්ගේ උපායමාර්ගය ප්‍රායෝගික දේශපාලන යථාර්ථයක් වනු ඇත්ද යන්න ඉදිරියේදී තීරණය වනු ඇත.




