වගා ආයෝජන මුවාවෙන් මහජනතාව නොමග යවමින් වාංචනික ලෙස මුදල් උපයන්නන්ට හසු නොවන්නැයිද, තමන් මහන්සියෙන් හරිහම්බ කරගත් මුදල් ඔවුන්ගේ ගොදුරු බවට පත් වීමට ඉඩ නොතබන්නැයිද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහජනතාවගෙන් ඉල්ලා සිටි.
වර්තමාන ආර්ථික වටපිටාව තුළ විවිධ වංචනික ව්‍යාපාරිකයන් විසින් වගා ආයෝජන මුවාවෙන් මහජනතාවගේ මුදල් වංචා කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අවධාරණය කරමින් අධිපතිවරයා මේ බව කීය.
මහජනතාව මෙවැනි වංචනිකයෙන්ගේ ගොදුරු බවට පත්වීම වළක්වාලීමටනම් මහජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම මහ බැංකුවේ අදහසයි.
ඒ අනුව මහ බැංකුව මහජනතාව දැනුවත් කිරිම සඳහා "පරෙස්සම් වන්න!" යන තේමාව යටතේ වගා ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන ලෙස පවසමින් බොරු පොරොන්දු ලබා දෙන වංචනික ආයතන පිළිබඳව දැඩි ලෙස විමසිලිමත් විය යුතු යැයි දැනුම්දෙමින් පුරා මාසයක් තිස්සේ ජාතික දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කොට තිබේ.
මෙවැනි වංචනික ආයතන විසින් ආයෝජන මුවාවෙන් මහජනතාව රවටා ඔවුන්ගේ ආයෝජන දිනා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් කරුණු තුනක් ඉදිරිපත් කරයි. එය නම්
1. ප්‍රතිලාභ තහවුරු කිරීම: කිසිදු සැකයකින් තොරව ඉහළ ප්‍රතිලාභ ලැබෙන බවට සහතික වීම.
2. ක්ෂණික ලාභ: ආයෝජනය කළ වහාම ඉතා කෙටි කලකින් විශාල ලාභයක් ලබා දෙන බවට පොරොන්දු වීම.
3. අවදානමක් නොමැති බව: ඕනෑම ආයෝජනයක අවදානමක් පැවතියද, කිසිදු අවදානමක් නොමැති බව පවසමින් ජනතාව නොමග යැවීම සිදුකරන බව මහ බැංකුව අවධාරණය කරයි.
මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි ආයෝජනවලට මුදල් යෙදවීමට පෙර තර්කානුකූලව සිතා බලන ලෙසයි. මෙවැනි අසාමාන්‍ය ලෙස ඉහළ ප්‍රතිලාභ ලබා දීමට තරම් සැබවින්ම ඔවුන් වගා කරන්නේ කුමක්ද යන්න සොයා බැලිය යුතුය. "සැබවින්ම ඔවුන් වගා කරන්නේ මායා බෝංචිද?" යනුවෙන් මහ බැංකුව උපහාසාත්මකව ප්‍රශ්න කරන්නේ, මෙවැනි අධික ලාභ ලබා දිය හැකි වගාවන් ප්‍රායෝගිකව නොපවතින බව පෙන්වා දීමටයි.
මූල්‍ය පාරිභෝගිකයන් ලෙස ඕනෑම ආයෝජනයක් කිරීමට පෙර එම ආයතනයේ ලියාපදිංචිය සහ නීත්‍යානුකූලභාවය පිළිබඳව සොයා බැලීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණ වන්නේ මහජනතාව මෙවැනි වංචාවලට හසු නොවී, ආරක්ෂිත මූල්‍ය පාරිභෝගිකයන් (Scam Proof Financial Consumers) බවට පත් කිරීමයි.
(සටහන | ජේ.මුණසිංහ)





