The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු අටමස්ථානාධිපති ගැන නීතිය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනවලට ‘කාන්තා ක්ලබ්’ එකක බලපෑම්

T

The Leader Desk

June 14, 2026 • 10:21 AM

හිටපු අටමස්ථානාධිපති ගැන නීතිය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනවලට ‘කාන්තා ක්ලබ්’ එකක බලපෑම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විභාග කෙරෙමින් පවතින අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් පිරිසක් නීති ආයතනවලට අත පෙවීමෙන් නීති සම්පාදක පාර්ලිමේන්තුව හා එය ක්‍රියාවේ යොදවන අධිකරණය අතර පැවතිය යුතු අනිවාර්ය විභේදනය බිඳ හෙලන බව එම ප්‍රවීනයන්ගේ මතයයි.
  • පසුගිය 5 වැනිදා පැවැත්වුණු හමුවෙන් තුන් දිනකට පසුව නිවේදනයක් නිකුත් කළ පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පවසා තිබුණේ සියළු විමර්ශන යහපත් ලෙස කරන්නට කටයුතු සැලසිය යුතු බවට එහිදි සාකච්ඡාවට ගැනුනු බවකි.
  • එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට තිබුනේ දැනට සිදු කෙරෙන විමර්ශනවලට අදාලව අධිකරණ නියෝග අනුව කටයුතු කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිනි සංසදය විසින් අදාල අංශවලට උපදෙස් ලබා දුන් බවකි.
  • "නඩුවට අදාල රස පරික්ෂක වාර්තා සහ අනෙකුත් වෛද්‍ය වාර්තා කඩිනමින් කැඳවා ගැනීමට ඉල්ලීමක් කෙරුනි" යනුවෙන් ද, " නඩුව සම්බන්ධයෙන් අනුරාධපුරය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට මන්ත්‍රිනි සංසදයේ ඉල්ලීමට නීතිපති දෙපාර්තමේන්තුව එකඟ වූ බවද" එම නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


විභාග කෙරෙමින් පවතින අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් පිරිසක් නීති ආයතනවලට අත පෙවීමෙන් නීති සම්පාදක පාර්ලිමේන්තුව හා එය ක්‍රියාවේ යොදවන අධිකරණය අතර පැවතිය යුතු අනිවාර්ය විභේදනය බිඳ හෙලන බව එම ප්‍රවීනයන්ගේ මතයයි.

බාළිකාවකට ලිංගික අතවර කළ බවට චෝදනා නැගෙන වැඩ අත්හිටුවා ඇති අටමස්ථානාධිපති පිලිබඳ පරීක්ෂණ සහ නඩු විභාග ගැන පාර්ලිමේන්තු මන්ත්‍රිනි සංසදය විසින් මේ මස මුල් සතියේ නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමාරක්ෂණ අධිකාරිය, පරිවාස දෙපාර්තමේන්තුව හා පොලිසිය පාර්ලිමේන්තුවට කැඳවා උපදෙස් දී තිබුණි.

පසුගිය 5 වැනිදා පැවැත්වුණු හමුවෙන් තුන් දිනකට පසුව නිවේදනයක් නිකුත් කළ පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පවසා තිබුණේ සියළු විමර්ශන යහපත් ලෙස කරන්නට කටයුතු සැලසිය යුතු බවට එහිදි සාකච්ඡාවට ගැනුනු බවකි. එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට තිබුනේ  දැනට සිදු කෙරෙන විමර්ශනවලට අදාලව අධිකරණ නියෝග අනුව කටයුතු කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිනි සංසදය විසින් අදාල අංශවලට උපදෙස් ලබා දුන් බවකි.

"නඩුවට අදාල රස පරික්ෂක වාර්තා සහ අනෙකුත් වෛද්‍ය වාර්තා කඩිනමින් කැඳවා ගැනීමට  ඉල්ලීමක් කෙරුනි" යනුවෙන් ද, " නඩුව සම්බන්ධයෙන් අනුරාධපුරය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට මන්ත්‍රිනි සංසදයේ ඉල්ලීමට නීතිපති දෙපාර්තමේන්තුව එකඟ වූ බවද"  එම නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.

 

"මේක තනිකරම අධිකරණ ක්‍රියාවලියට අනිසි අත පෙවීමක්. විමර්ශන පිළිබඳව  නීතිපතිට උපදෙස් දෙන්න පාර්ලීමේන්තු කමිටුවකට නෙමෙයි පාර්ලීමේන්තුවටවත් බෑ," යනුවෙන් දැඩිව කියා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරයෙක්  මෙන්ම රටේ ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන නඩු ගණනාවක් මෙහෙයවමින් සිටින දශක ගණනාවක පළපුරුද්ද සහිත ජනාධිපති නීතිඥවරයෙකි.

 

ස්ථාවර නියෝගවල නැති කමිටුවක්

"මන්ත්‍රිනි සංසදයක්  කියන්නේ ස්ථාවර නියෝග යටතේ ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි. ඒක නිකම්ම  නිකං සභාවක්,”  යැයි  කියා සිටියේ  පාර්ලිමේන්තු පරිපාලන විෂය ක්ෂේත්‍රයෙහි සහ නීතී විෂයෙහි  අත්දැකීම් බහුල  හිටපු ලේකම්වරයෙකි.

සංසදයට කවර හෝ පාර්ශවයක් තමන් හමුවට කැඳවීමේ බලය  ඇති බව පවසන මන්ත්‍රිනි සංසදය නියෝජනය කරන  මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න  ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) සම්බන්ධයෙන් සංසදය ක්‍රියාකළ ආකාරය පිළිබඳව නොසතුට පල කළාය.  

 

ජූනි 5 දා පැවති එම රැස්වීමේදී සංසදයේ නායිකාවන් විසින් අධිකාරිය දැඩි දෝෂ දර්ශනයට ලක් කරන ලද බවට පළවූ මාධ්‍ය වාර්තා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර විසින් ප්‍රතික්ෂේප කර තිබුනත් සංසදයේ වෙනත් සාමාජිකාවන් පවසන්නේ අධිකාරිය ‘බිත්තියට හේත්තු’ කරන ලද බවයි.

 

"NCPA එක  බිත්තියට හේත්තු කරලා තර්ජනාත්මකව ප්‍රශ්න කරපු එක වැරදියි. මට ඒක නම් අනුමත කරන්න බෑ," යි ශ්‍රී ලංකා පාර්ලීමේන්තුවේ වසර 10 ට වැඩි පළපුරුද්දක් සහිත කවිරත්න මන්ත්‍රිවරිය කීවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සාකච්ඡාවේ අන්තර්ගතය පිළිබඳව තුන්වැනි පාර්ශවයකට කිසිම අදහසක් පළ කිරීමෙන් වළකින ලෙස එම රැස්වීමට සහභාගී වූ සියලු නිලධාරීන්ට උපදෙස් දෙන ලද බව මාධ්‍ය ඔස්සේ තොරතුරු පළවීමෙන් අනතුරුව නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර  ජූනි 10 දා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුණාය.

“මේ සාකච්ඡාව ගැන තොරතුරු හෙළිදරව් කිරීමක් සිදුවුනොත්, එවැනි කඩකිරීමකට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද ඉල්ලා සිටීමට හේතු වන බව සියලු පාර්ශ්වයන්ට දැනුම් දෙන ලදැ,” යි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරිය විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය.

මහත් ආන්දෝලනයකට තුඩුදී තිබෙන අනුරාධපුරය බාල වයස්කාර දැරිවිය ලිංගික අපහරණයට ලක් කිරීමේ සිදුවීමට අදාල විමර්ශනවල ප්‍රගතිය සමාලෝචනය කිරීම උදෙසා  කාන්තා හා ළමා කටයුතු විෂය භාර ඇමතිවරිය වන සරෝජා සාවිත්‍රි පෝල් රාජ් ගේ ප්‍රධානත්වයෙන් පාර්ලීමේන්තු මන්ත්‍රිනි සංසදයේ විශේෂ සාකච්ඡාවක් පසුගිය මැයි 25 දින කැඳවා තිබුණු අතර, ඉදිරි නීතිමය කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කරන ලද සංසදයේ අනු කමිටුවේ සම කැඳවුම්කාරියන් ලෙස සමන්මලී ගුණසේකර හා චමින්ද්‍රිණි කිරිඇල්ල නීතිඥවරියන් පත් කරගන්නා ලද බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින්  නිකුත් කෙරුනු මාධ්‍ය නිවේදනයක දැක් වුණි.

ජූනි 5 දා රැස්වීමට එම සම කැඳවුම්කාරියන් සහභාගී වූ බවක් ඉන් දින තුනකට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ සමන්ත මල්ලවආරච්චි විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ නොදැක්වේ.

කාන්තාවන්ගේ 'ක්ලබ්' එකක්  

පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේට එරෙහි ළමා අපයෝජන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ  පොලිසිය  තමන් හමුවට කැඳවා  කරුණු විමසීමටත්, ඉදිරි අධිකරණ කටයුතු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ට උපදෙස් ලබා දීමටත් මන්ත්‍රිනි සංසදය කටයුතු කිරීම මගින් පාර්ලිමේන්තු සහ අධිකරණ සම්ප්‍රදායන්ට මෙන්ම පවතින ව්‍යවස්ථාපිත නීති රෙගුලාසිවලටත් උචිත වන්නේ දැයි අප විසින් ඉහත සඳහන් කළ ජනාධිපති නීතිඥවරයාගෙන් වැඩි දුරටත් කරුණු විමසා සිටි අවස්ථාවේ ඔහු සඳහන් කර සිටියේ එය කිසිසේත් පිළිගත හැකි මට්ටමේ එකක් නොවන බවකි.

" මේක කාන්තා ක්ලබ් එකක්නේ. එයලා කොහොමද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්වයි,  NCPA එකයි ගෙනල්ලා නීති උපදෙස් දෙන්නේ? . නීතිපතිවරයාට උපදෙස් දෙන්න කාටද බලය තියෙන්නේ? එහෙම කරන්න බෑ. මේක පාර්ලීමේන්තු වරප්‍රසාදවලට  මුවා වෙලා කරන වැඩක්," හිටපු නියෝජ්‍ය සොලිසිටර්  ජනරාල්වරයෙක් මෙන්ම ජනාධිපති නීතිඥවරයකු ද වන හෙතෙම නම සඳහන් නොකරන මෙන් ඉල්ලා සිටිමින් කියා සිටියේ ය.

 

කෙසේ වෙතත්, යම් යම් අවස්ථාවලදී අණ පනත් සහ කෙටුම් පත් සම්බන්ධයෙන් අර්ථ නිරූපන මෙන්ම නෛතික පැහැදිලි කර ගැනීම් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් පාර්ලීමේන්තුව හමුවට කැඳවීමට හැකි මුත්,  විමර්ශන කටයුතු පිළිබඳව හෝ අධිකරණය හමුවේ විභාග වෙමින් තිබෙන නඩු සම්බන්ධයෙන් හෝ උපදෙස් ලබා දීමටවත්, වැඩිදුර විස්තර ලබා ගැනීමටවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් කිසිම සභාවක් හෝ කමිටුවක් ඉදිරියට හෝ කැඳවීමේ ක්‍රමවේදයක් නොමැති බව පවසන ජනාධිපති නීතිඥවරයා අවධාරණය කරන  ලද්දේ එවැනි  ඉල්ලීමක් කිරීම ම අධිකරණ කටයුතුවලට අනිසි අත පෙවීමක් ලෙස සැලකිය යුතු බවයි.

 

අධිකරණ කටයුතුවලට අත පෙවීමක්

" නීතිපති දෙපාර්තමේන්තුවේ විතරක්ම නෙමෙයි ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශනවලටත් කාටවත් මැදිහත් වෙන්න බෑ. නඩු ගැන නීතිපතිවරයාට උපදෙස් දෙන්න එක එක කමිටුවලට පුලුවන් නම් රටේ ව්‍යස්ථාපිත නීති පද්ධතියක් මොකටද? ඇමතිවරියක් වෙච්ච  පළියට එහෙම නැත්නම් පාර්ලීමේන්තු මන්ත්‍රි කමිටුවක් වෙච්ච පළියට නීතිපතිට හරි අධිකරණයේ කටයුතුවලට හරි අර විදිහට කරන්න මේ විදිහට කරන්න කියලා උපදෙස් දෙන්න   පුලුවන් ද?   යනුවෙන් හෙතෙම විමසීය.

“පාර්ලිමේන්තු මන්ත්‍රීනී සංසදයේ කටයුතු ජනමාධ්‍යයට සහ මහජනතාවට අසත්‍ය ස්වරූපයෙන් ගෙනහැර දැක්වීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් පමණක් නොව, දැඩි අවධානයක් යොමු වූ ළමා අපයෝජන සිදුවීමක් සම්බන්ධයෙන් වගකීම් විරහිත හැසිරීමක් ද වන අතර එය දරුවාගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම හිතාමතා ම කඩාකප්පල් කිරීමකි,” යි නීතිඥ හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබුණි.

පාර්ලිමේන්තු සංසදවල බලතල සහ කාර්ය පටිපාටිය පිළිබඳව අප විසින් කරන ලද  කරුණු සොයා බැලීමකදි දැන ගන්නට ලැබුණේ පාර්ලීමේන්තුවේ ස්ථාවර නියෝගවලට යටත් කාරක සභා සහ ආංශික සභාවලට හිමි බලතල සහ වරප්‍රසාද කිසිවක් මන්ත්‍රිනි සංසදය වැනි සභාවලට නොමැති බවකි.

සංසද සහ වෙනත් කාරක සභා පිළිබඳව පාර්ලීමේන්තු වෙබ් අඩවියේ මෙසේ දැක්වෙයි.

WhatsApp Image 2026 06 14 at 18.53.47
"පාර්ලිමේන්තු සංසදයක් යනු පොදු අභිලාෂයන් / අරමුණු සාකච්ඡා කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම උදෙසා හෝ පොදු න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කිරීම වෙනුවෙන් එකට එකතුවන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන්ගෙන් සමන්විත කණ්ඩායමකි".

එහි නෛතික ස්වභාවය පිළිබඳව මෙසේය.

"කෙසේ වුවද පාර්ලිමේන්තු සංසද සඳහා වන ප්‍රතිපාදන ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් නොවේ."

නැති බලයක් පෙන්වා නීතිය හෑල්ලු කිරීමක්

මේ සම්බන්ධයෙන් පෙර සඳහන් කළ  පාර්ලිමේන්තුවේ හිටපු  ලේකම්වරයාගෙන්  කරුණු විමසන ලද අතර ඔහු විසින්ද පැහැදිලි කරන ලද්දේ සංසද යනු නාමික එකතුවක් මිස නිල බලයක් හිමි ඒකකයක් නොවන බවයි.

 

"මන්ත්‍රිවරියන්ගේ සංසදය කියන්නේ ස්ථාවර නියෝග යටතේ පිහිටවපු එකක් නෙමෙයි. ඒකට එහෙම කිසිම බලයක් නෑ. ඇත්තටම ඕක දිගටම තියෙන ප්‍රශ්නයක්. සංසදවලට අනෙක් කමිටුවලට තියෙන පාර්ලිමේන්තු වරප්‍රසාද නෑ කියන එකයි මගේ නම් මතය. මොකද මේවා හරියට ගත්තාම පුංචි පුංචි ක්ලබ් වගේ, " යි හෙතෙම කියා සිටියේ ය.

 

සංසද සහ ස්ථාවර නියෝග යටතේ පිහිටුවන කමිටු අතර ඇත්තේ කුමනාකාරයේ වෙනසක් දැයි විමසීමේදි හිටපු ලේකම්වරයා පැවසුවේ එය ස්ථිරවම තීරණය වන්නේ ස්ථාවර නියෝග යටතේ පිහිටුවන ලද්දක් ද යන නිර්ණායකය මත බවයි.

"කෝප්, කෝපා වගේ කමිටුවලට ස්ථාවර නියෝග යටතේම බලය දීලා තියෙනවා උප කමිටු පත් කරන්න. හැබැයි ඒක කරන්න ඔනේ නිසි කාර්ය පටිපාටියට යටත්ව.  ඒ කියන්නේ මුල් කමිටුව නියමිත පරිදි කැඳවලා වාර්තා ලේඛන ගත කරලා තමයි උප කමිටු පත් කරන්න ඕනේ. වැදගත්ම දෙයක් තමයි ස්ථාවර නියෝග යටතේ ඔය කියන සංසද නියාමනය කරලා නෑ කියන එක. එහෙම නම් ඒ යටතේ පිහිටවන කිසිම දෙයක වලංගුතාවයක් තියෙන්න බෑනේ නේද,” යි හිටපු  ලේකම්වරයා  පැවසීය.

බාහිරට නොපෙනෙන මෙම නීතිමය සහ ව්‍යවස්ථාමය බලතල අවභාවිතා කිරීමේ අර්බුදය රටේ ව්‍යවස්ථාපිත අණ පනත් මගින් පිහිටුවා ඇති ආයතනවල ස්වාධීනත්වය මොට කරන්නට හෝ එයට අනිසි බලපෑම් සිදු කරන්නට හේතු නොවන්නේ දැයි අප විසින් ඉහත කී ජනාධිපති නීතිඥවරයාගෙන් විමසනු ලදුව ඔහු පවසා සිටියේ එය අනිවාර්යෙන්ම සිදුවිය හැකි දෙයක් බවයි.

“පාර්ලිමේන්තුවටවත් බෑ”

 

"ඔය අපරාධය ගැන  විමර්ශන සිදුකරන්නේ ළමා ආරක්ෂක  අධිකාරිය යි පොලිසීය යි නේ. දැන් ඒක අධිකරණය ඉදිරියේ ඇහෙන නඩුවක්. විමර්ශනවලට අවශ්‍ය උපදෙස් නීතිපතිවරයා කරයි. ඉතින් ඒකේ යම් ගැටලුවක් මතු වුණොත් ඒ පාර්ශව ඒක විසඳගයි. අමතක කරන්න එපා මේ  සියල්ලේ අවසාන  අධික්ෂණ බලධාරියා අධිකරණය බව . ඒවට මැදිහත් වෙන්න ‌ඔය කියන සංසදයකට නෙමෙයි පාර්ලිමේන්තුවටවත් බෑ. අනෙක  කොහෙන් ආපු බලයක් ද මේ පාවිච්චි කරන්නේ, කවුද මේ බලය දුන්නේ?”

 

"අධිකරණය සහ පාර්ලිමේන්තුව අතර බල තුලනයක් තියෙනවා අපි  Separation of Powers කියන්නේ ඒකට. ඒ ආයතන පද්ධති දෙකම එකිනෙකාට ස්වාධීන ආකාරයෙනුයි කටයුතු කරන්නේ. අනෙක් වැදගත්ම දේ තමයි Judicial Review කියන දේ. අධිකරණ බලයයි නීතී සම්පාදන ව්‍යවස්ථාපිත ආයතනය වෙන පාර්ලීමේන්තුවයි කියන්නේ දෙකක්. හැබැයි දෙන්නටම අනන්‍ය වුණු බලයක් සහ එකිනෙකාගේ බලයට අත නොපොවන සම්ප්‍රදායක් මේ දෙකේම තියෙනවා. ඉතින් සංසද දාලා ව්‍යවස්ථාපිත ආයතනවල කටයුතු ගැන ප්‍රශ්න කරන්න කලියෙන් මේ දේවල් ගැනත් ඒ මන්ත්‍රිවරියෝ දැන ගත්තානම් හොඳයි නේද,” යි ජනාධිපති නීතිඥවරයා සිනාමුසුව පැවසීය.

NCPA ය බිත්තියට හේත්තු කරපු එක අනුමත කරන්න බෑ

මන්ත්‍රිනි සංසදයේ ඇතැමුන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරිනියන් අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු කිරීමද දැඩිව විවේචනය කළ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකුද වන එම ජනාධිපති නීතිඥවරයා එය ඉතාම නරක පූර්වාදර්ශයක් සපයන්නක් බවට ද හැඳින්විය.

"මේ සංසදයේ අය NCPA නිලධාරිනියන්ට කතා කරන්නවත් ඉඩ නොදි දොස් කියලා තියෙන බව මම දැක්කා. ඉතිහාසයේ කවදාවත්ම අපි අහලා නෑ NCPA නිලධාරින්ව මන්ත්‍රි සංසදයකට නෙමෙයි පාර්ලිමේන්තු කමිටුවක් ඉස්සරහට ගෙනල්ලාවත් ඔවුන් කරන විමර්ශන ගැන ප්‍රශ්න කරලා දොස් කියනවා.මේ මන්ත්‍රිවරියන්ට තමන්ගේ බල සීමාවවත් ‌තේරෙන්නේ  නැද්ද?”  

ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය සහ එහි නීතිය බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂකවරිය අපහසුතාවයට පත්වන අයුරින් මන්ත්‍රිනි සංසදයේ ඇතැමුන් කටයුතු කර ඇති ආකාරය පිළිබඳව එම සංසදයේ සාමාජිකාවක ලෙස  තමන් ද අනුමත නොකරන බව රෝහිණි  කවිරත්න මන්ත්‍රිවරිය කියා සිටියා ය.  

"ළමයගේ අනන්‍යතාවය රකින්න ඕනේ කියන එක අපි හැමෝම පිළිගන්න දෙයක්. ඒ වගේම යුක්තිය ඉටු වෙන්න ඕනේ කියන එක ගැනත් අපි කාටවත් ප්‍රශ්නයක් නෑ. ඒ වගේම තමයි අපි හැමෝම දන්නවා මේක මේ තරම් දුරකට ඇදන්  ආවේ ළමා ආරක්ෂක අධිකාරිය බව. නිලධාරින්ව එහෙම කැඳවලා කතා කරන්න හොඳ නෑ".

යටපත් වුණු බරපතල ළමා අපයෝජනයක් මේ තරමට හෝ නීතිය ඉදිරියට රැගෙන ආ ළමා ආරක්ෂක අධිකාරියට දොස් නැගීම පිළිබඳව ඇය දැඩි සේ කම්පාව පල කළාය.

" NCPA ය බිත්තියට හේත්තු කරලා දොස් කියපු එක හරිම වැරදි සහගත දෙයක්. පොලිසිය නේද විමර්ශන හරියට කෙරුවේ නැත්තේ. ඒක මුළු රටම දන්නවානේ නේද," යි රෝහිනි කවිරත්න මන්ත්‍රිවරිය ප්‍රශ්න කළාය.

කෙසේ නමුත් විශ්‍රාමික නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් මතු කරන ලද තවත් එක් වැදගත් කරුණක් වූයේ  අපරාධමය වරදක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අධිකරණ ක්‍රියාවලියෙන් පරිබාහිර සංසදයකින්  ප්‍රශ්න කරන්නට හෝ උපදෙස් සැපයීමට යාමෙන් සමස්ත නෛතික ක්‍රියාවලියම අර්බුදකාරි තත්වයකට ගමන් කළ හැකි බවකි.

 

" අනුරාධපුරය දරුවා පිළිබඳ සිදුවීම ගැන කාන්තා මන්ත්‍රිවරියන්ගේ සංසදය නීතිපතිවයි, පොලිසිය යි ළමා ආරක්ෂක අධිකාරිය යි පාර්ලිමෙන්තුවට ගෙනල්ලා ප්‍රශ්න කරානේ, උපදෙසුත් දුන්නානේ. හරි දැන් තව කට්ටියක් පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන හරි වෙන බරපතල සිදුවීමක විමර්ශන ගැන හරි ඒ නිලධාරින්ව කැඳවලා ප්‍රශ්න කරන්න උපදෙස් දෙන්න ගියොත් මොකද වෙන්නේ? මේක අවුල් ජාලයක් වෙනවා නේද? ඊටත් වඩා පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර ඝට්ටනයකට යනවා නේද?”

 


නාලන්දාවටත් මන්ත්‍රි සංසදයක්

එවැනිම මතයක් දරන පාර්ලීමේන්තුවේ හිටපු  ලේකම්වරයා, එමගින් පාර්ලීමේන්තු බලතල පවා හෑල්ලුවට ලක් විය හැකි බව පෙන්නා දුන්නේ සමච්චල් සහගතවය.

 

"පාර්ලිමේන්තුවේ ඉන්නවා නාලන්දාවේ ඉගෙන ගත්ත මන්ත්‍රිවරුන්. ඒ ගොල්ලෝ 'නාලන්දා මන්ත්‍රි සංසදය'  කියලා එකක් හදාගෙන ඔය විදිහටම කමිටු දාගෙන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ව හරි වෙනත් රාජ්‍ය ආයතනයක නිලධාරින්ව හරි කැඳවලා ප්‍රශ්න කරන්න ගියොත් මොකද වෙන්නේ? මේක තනිකරම විහිළුවක් වෙනවා නේද? හැබැයි ඒක භයානක විහිළුවක්".

 

එසේ නම් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලින් ආවරණය නොවෙන එවැනි නෛතික බලයක් නැති සංසද හමුවට නීතිපති ඇතුළු රාජ්‍ය නිලධාරින් පැමිණෙන්නේ කුමක් නිසා දැයි අප විසින් කරන ලද විමසුමකට පිළිතුරු දුන් හිටපු ලේකම්වරයා කියා සිටියේ බහුතරයක් මේ සැබෑ තත්වය නොදැන පැමිණෙන බවකි.

" ඇත්තටම බහුතරයක් ඕක දන්නේ නෑ. මගේ අදහස රාජ්‍ය නිලධාරින්ට පුලුවන් ඕකට අභියෝග කරන්න. මොකද මේ සංසද ස්ථාවර නියෝග යටතට වැටෙන්නේ නෑනේ. ඒ කියන්නේ කැඳවීමේ හරි නියෝග දීමේ බලයක් හරි මේවට නෑ. නමුත් රාජ්‍ය නිලධාරින් එන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට තියෙන බයටයි, ගරුත්වටයි".

NCPA  ප්‍රකාශනයේ අයිතියට වාරණයක් ද?

කෙසේ නමුත් මේ වන විට අදාල මන්ත්‍රිනි සංසදය ක්‍රියා කොට ඇති ආකාරය පිළිබඳව දැඩි ප්‍රශ්නකාරි සහ මතබේදාත්මක තත්වයක් උද්ගතව තිබෙන අතර අදාල හමුවෙන් පසුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය  පවා යම් තැති ගැන්මකට පත්ව සිටින වගක් පෙනෙන්නට තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියටත් එහි නීතිය බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂකවරියටත් එරෙහිව එල්ල කෙරෙන අවලාද මෙන්ම, පොලිස් විමර්ශන භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් මාධ්‍ය හමු පවත්වමින් අධිකාරියට දෝෂාරෝපනය කිරීම පිළිබඳවත් ඉන් අනතුරුව මන්ත්‍රිනි සංසදයේ සිදුවූ කතාබහ පිළිබඳවත් අප විසින් අවස්ථා කිහිපයකදීම අධිකාරියේ ඉහලම බලධාරිනියන් වෙතින් දුරකතනය ඔස්සේ කරුණු විමසා සිටි අතර, ඒ සියල්ලන්ම විසින් කිසිදු ප්‍රකාශයක් හෝ සිදු කිරීම එක හෙලාම කාරුණික ලෙස ප්‍රතික්ෂේප කරන ලදි.

(සටහන | කේ. විජේසිංහ) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හිටපු අටමස්ථානාධිපති ගැන නීතිය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනවලට ‘කාන්තා ක්ලබ්’ එකක බලපෑම් | The Leader