ඔබත් මේ ක්ෂේත්‍රවලද? වත්කම් හෙළි කළ යුතු අලුත්ම පිරිස් මෙන්න
නීතිමය රැහැනෙන් බේරෙන්න: අල්ලස් කොමිසමෙන් නිලධාරීන්ට දුන් පහසුම මඟ
වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නීත්‍යානුකූලව බැඳී සිටින සියලුම නිලධාරීන් ලබන ජුනි මස 30 වන දිනට පෙර තමන්ගේ වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පවසයි.
ජුනි 30 වන දිනට පෙර එම ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම දඩ මුදලකට යටත් වීමට සිදුවන අතර, ඇතැම් අවස්ථාවලදී එය දරාගත නොහැකි තරම් ඉහළ දඩ මුදලක් විය හැකි බවද අවධාරණය කෙරේ.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත හඳුන්වා දීමෙන් පසු, එහි 81 (1) වගන්තිය ප්‍රකාරව අදාළ වර්ෂයේ ජුනි 30 වන දිනට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ. එසේ ප්‍රමාද වීම දඩයකට මෙන්ම අධිකරණමය ක්‍රියාමාර්ගවලට ලක්වීමට හේතු විය හැක.
මධ්‍යගත විද්‍යුත් පද්ධතියක් පමණයි
මීට පෙර පැවති පරිදි අතින් පත්‍රිකා පිරවීමෙන් (Manual Forms) වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ නොහැකි අතර, එය සිදුකළ යුත්තේ මධ්‍යගත විද්‍යුත් පද්ධතියක් (Centralized Electronic System) හරහා පමණක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු අලුතින් එක්වූ කාණ්ඩ
රාජ්‍ය සේවය:
රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් (තමන් වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුද යන්න පිළිබඳව සැකයක් ඇත්නම් ආයතන ප්‍රධානියාගෙන් විමසා තහවුරු කරගත හැක).
වෘත්තීය සමිති:
සියලුම වෘත්තීය සමිතිවල විධායක නිලධාරීන්.
මුද්‍රිත මාධ්‍ය:
පුවත්පත් ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ ලියාපදිංචි පුවත්පත්වල හිමිකරුවන්, කතුවරුන් සහ කතෘ මණ්ඩල සාමාජිකයන්.
විද්‍යුත් මාධ්‍ය:
බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කතුවරුන් සහ කතෘ මණ්ඩල සාමාජිකයන්.
ක්‍රීඩා සංගම්:
ක්‍රීඩා පනත යටතේ පිහිටුවා ඇති ක්‍රීඩා සංගම්වල නිලධාරීන්.
රේගු අනුනියෝජිතයන්:
රේගු ආඥාපනතේ 115 වගන්තිය ප්‍රකාරව බලපත්‍රලාභී රේගු අනුනියෝජිතයන් හෙවත් වාපු ලිපිකරුවන් (Wharf Clerks).
සියලුම දෙනාට අල්ලස් කොමිසමේ නිල වෙබ් අඩවිය වන www.ciaboc.gov.lk හරහා පිවිස ඉතා පහසුවෙන් මෙම විද්‍යුත් පද්ධතියට ලියාපදිංචි විය හැක. නීතිමය ක්‍රියාමාර්ග හා දඩ මුදල්වලින් බේරීම සඳහා ජුනි 30 වන දිනට පෙර මෙම ප්‍රකාශ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක වැඩිදුරටත් ඉල්ලා සිටියි.




