හර්ෂණ නානායක්කාරට විමර්ශන කටයුතු ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ පවත්වන ලෙස බල කරමින් පැවැත්වීමට නියමිත දෙමළ ජනතා විරෝධතාවකට එරෙහිව යාපනය උසාවිය තහනම් නියෝගයක් පැනවීම නිසා උනුසුම් තත්වයක් මතුව තිබේ.
සිකුරාදා (19) චෙම්මනි සමුහ මිනීවල නැරඹීමට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දහතුන් දෙනකුටත් අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලයේ අට දෙනකුටත් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබුණි.
ඔවුන් පැමිණෙන විට චෙම්මනි වින්දිතයන්ට ජාත්‍යන්තර යුක්තිය ඉල්ලා විරෝධතාවක් පැවැත්වීමට උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ සංගමය කටයුතු යොදා තිබිණි.
විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වන්නේ විමර්ශන කටයුතු ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාමයි. ශ්‍රී ලංකාවේ දේශීය විමර්ශන ප්‍රතිෂේප කරන විරෝධතා කරුවෝ සමූහ මිනීවළවල් හා අතුරුදහන් කරනු ලැබුවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුක්තිය ඉල්ලා සිටිති.
ඊට එරෙහිව යාපනය පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අතුරුදහන් වුවන්ට යුක්තිය සොයන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලයට නායකත්වය දෙන කනගරන්ජනී යෝගරාසා, සිවකුමාර් ඉලන්කෝදෙයි හා සිවානන්දන් ජෙනීටා ටත්, තවතිරු වේලන් හින්දු පුජකතුමාටත්, ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාටත්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහලේකම් සෙල්වරාසා ගජෙන්ද්‍රන්ද්‍රන්ටත්, ඔවුන් සමග පැමිනෙන්නන්ටත් එරෙහිව තහනම් නියෝගයක් පනවා තිබේ.
එමගින් චෙම්මනි සුසාන භුමිය ඉදිරිපිට A 9 මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට පලාලි පාර හන්දිය දක්වා සහ බස් නැවතුම්පොළ මංසන්ධිය හරහා යාපනය පොලිස් ස්ථානයට යන ප්‍රධාන මාර්ගය ඔස්සේ මාර්ග බාධක නිර්මාණය කිරීම හෝ බාධක ඉදිකිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇතැයි යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.
කෙසේ වෙතත් වින්දිත පිරිස් මග දෙපස විරෝධතා පවත්වනු දක්නා ලදී
අධිකරණ අමාත්‍යවරයාට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලපෑම් කරන විරෝධතාවකට එරෙහිව පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත්තේ වධහිංසාව වැලැක්වීම සඳහා පත්කොට තිබෙන එක්සත් ජාතීන්ගේ ඉහල මණ්ඩලයක නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටියදීය.





