එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර දේශපාලන ඒකාබද්ධතාවයක් වෙනුවෙන් කොළඹදී රහස් සාකච්ඡාවක් පැවැත්වුණු බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ දේශපාලන කරළිය දැඩි ලෙස උණුසුම් වී ඇත.
කෙසේවෙතත්, මෙම හමුව සම්බන්ධයෙන් දෙපාර්ශවයේම ඉහළ පෙළේ නායකත්වයෙන් ලැබෙන්නේ පරස්පර ප්‍රතිචාරයන්ය.
මාධ්‍ය වාර්තා කරන්නේ කුමක්ද?
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තුෂාර ගුණරත්නගේ සංස්කරණයෙන් යුත් "මව්රට" වෙබ් අඩවිය සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංජිත් ආනන්ද ජයසිංහගේ "ලංකා ලෝකය" වෙබ් අඩවිය වාර්තා කරන පරිදි මෙම හමුවේ ස්වභාවය මෙසේය.
ස්ථානය සහ වේලාව:
කොල්ලුපිටියේ 5 වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසේදී පසුගිය සෙනසුරාදා මෙම හමුව සිදුව ඇත. සාකච්ඡාව පැය එකහමාරකට ආසන්න කාලයක් ඇදී ගොස් තිබේ.
පූර්ව සුදානම:
මෙම හමුවට පෙර දින සජබ සභාපති කබීර් හෂීම්, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ලක්ෂ්මන් ෆොන්සේකා එජාප නායකයා හමුවී මූලික වටයේ සාකච්ඡාවක් පවත්වා ඇත.සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ හමුවීමට ගොස් ඇත්තේ එම මුලික සාකච්ජාවෙන් අනතුරුවය. සජිත් සමග ලක්ෂමන් ෆොන්සේකා ද එම අවස්ථාවට එක්ව සිටිබව වාර්තාවේ.
ප්‍රධාන අරමුණ:
ඉදිරි පළාත් සභා මැතිවරණයේදී පක්ෂ දෙක ඒකාබද්ධ වී පොදු පෙරමුණකින් තරග වැදීම සහ පහළ මට්ටමේ පාක්ෂිකයන්ගෙන් එල්ල වන බලපෑම මෙහිදී සාකච්ඡා වී ඇති බව එම වාර්තාවල දැක්වේ.
නායකයෝ හමුව ප්‍රතික්ෂේප කරති
මෙම මාධ්‍ය වාර්තාවල සත්‍යතාවය සෙවීම සඳහා "ද ලීඩර්" විසින් දෙපාර්ශවයේම ප්‍රධානීන්ගෙන් සෘජුවම විමසීමක් කරන ලදී.
එහිදී එජාප සභාපති වජිර අබේවර්ධන පැවසුයේ, රනිල් - සජිත් අතර එවැනි කිසිදු හමුවක් පැවැත්වුණු බව තමන් නොදන්නා බවයි.
සජිත් ප්‍රේමදාසගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා, මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අතර "විපක්ෂ නායකතුමා මේ දවස්වල ඉන්නේ යාල" යැයි පවසමින් සජිත් ප්‍රේමදාස කොළඹින් බැහැරව සිටින බව තහවුරු කළේය.
පක්ෂ දෙකේ ඉහළ නායකත්වය මෙම හමුව නිල වශයෙන් ප්‍රතික්ෂේප කළද, එජාපයේ සහ සජබයේ පහළ මට්ටමේ ක්‍රියාකාරීන් පක්ෂ දෙක එකතු විය යුතු බවට නායකත්වයට දිගින් දිගටම බලපෑම් කරමින් සිටී. සජිත් ප්‍රේමදාස ද පසුගිය පක්ෂ සම්මේලනයේදී එජාපය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බවට ඉඟි පළකර තිබීම හේතුවෙන්, නිල නොවන මට්ටමේ සාකච්ඡා තිරය පිටුපස සිදුවීමේ ඉඩකඩ සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැක.




