වත්මන් 5% උද්ධමන ඉලක්කය 2% - 3% දක්වා වහාම පහත හෙලා ජනතාවගේ සල්ලිවල අගය රකින්නැයි ඉල්ලීමක්.
“පොලී අනුපාත වෙනස් කළාට බඩු මිල වත්, ඩොලර් වත් එන්නේ නෑ” - මහ බැංකු ක්‍රමවේදයම ප්‍රශ්න කෙරෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් ආර්ථිකය පාලනය කිරීම සඳහා භාවිත කරන මූල්‍ය ප්‍රතිපත්ති රාමුව (Monetary Policy Framework) වහාම ප්‍රතිසංස්කරණය කළ යුතු බවට විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් විශේෂ ඉල්ලීමක් කර ඇත.
2023 ඔක්තෝබර් මස අත්සන් කළ ගිවිසුමට අනුව, මේ වසරේ (2026) ඔක්තෝබර් මාසයේදී මෙම රාමුව අනිවාර්යයෙන්ම සමාලෝචනය කළ යුතු අතර, එහිදී රටේ මධ්‍යකාලීන උද්ධමන ඉලක්කය (Inflation Target) වහාම වෙනස් කළ යුතු බව හිටපු මුදල් අමාත්‍යවරයා අවධාරණය කරයි.
5% ඉලක්කය දැන් ගැළපෙන්නේ නෑ
වත්මන් නීතියට අනුව මහ බැංකුවේ උද්ධමන ඉලක්කය පවතින්නේ 5% මට්ටමකය.
මෙම 5% සීමාව හැදුවේ රට දැඩි ආර්ථික අර්බුදයක තිබූ වටපිටාවකය.
දිගින් දිගටම 5%ක උද්ධමනයක් පැවතීමෙන් රුපියලේ අගය බිඳ වැටෙන අතර ජනතාව සතු ඉතිරි කිරීම් (Savings) දියවී යයි.
ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් ඇති බැවින්, මෙම ඉලක්කය වහාම 2%ත් 3%ත් අතර මට්ටමකට පහත හෙලා පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ ශක්තිය (Purchasing power) ආරක්ෂා කළ යුතුය.
ලංකාව අනතුරකද?
මැක්රෝ ආර්ථික දර්ශක (Macro indicators) යහපත් අතට හැරී ඇතැයි බලධාරීන් පැවසුවද, භූමියේ පවතින්නේ වෙනත් යථාර්ථයක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
රට තුළ මන්දගාමී ආර්ථික වර්ධනයක් (Sluggish growth) සමඟ දිගින් දිගටම පවතින උද්ධමනය, එනම් "ස්ටැග්ෆ්ලේෂන්" (Stagflation) තත්ත්වයක ලක්ෂණ මතු වෙමින් පවතී. පෞද්ගලික අංශයේ ආයෝජන තවමත් දුර්වලය; කර්මාන්තශාලා උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවන අතර, සාමාන්‍ය ජනතාවගේ අතේ සල්ලි ගැවසීම සීමා වී ඇත.
මිල සූත්‍රය සහ පොලී අනුපාත පරස්පරය
ලංකාවේ උද්ධමනය ඇති වන්නේ ජනතාව බඩු මිලදී ගැනීමට පොරකන නිසා (Demand-driven) නොවේ.
එය සෘජුවම බලපාන්නේ බදු වැඩිවීම්, තෙල් සහ විදුලි මිල ඉහළ යාම මෙන්ම ලෝක වෙළඳපොළේ මිල වෙනස්වීම් වැනි සැපයුම් පාර්ශවයේ (Supply-side) ගැටලු නිසාය.
මෙවැනි තත්ත්වයකදී මහ බැංකුව විසින් පොලී අනුපාත (Interest rates) වෙනස් කිරීමෙන් පමණක් බඩු මිල පාලනය කළ නොහැක.
පොලී අනුපාත වැඩි කළ පළියට රටට ඩොලර් සංචිත ලැබෙන්නේ හෝ අපනයන වැඩිවන්නේ නැත.
2026 ඔක්තෝබර් සමාලෝචනයේදී උද්ධමනය පාලනය කිරීමට පමණක් මුදල් ප්‍රතිපත්ති සීමා නොකර, රටේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය සුරක්ෂිතභාවය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. උද්ධමන ඉලක්කය අඩු කිරීම හරහා දේශීය පාරිභෝගිකයන්ට මෙන්ම ජාත්‍යන්තර ආයෝජකයන්ට ද ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ ප්‍රබල විශ්වාසයක් ලබා දීමට නව රජයට අවස්ථාව ඇත.
ස්වාධීන යෝජනා :
මහ බැංකු ප්‍රතිපත්ති සැබෑ ලෙසම ජනතාවට සහ ව්‍යාපාරවලට හිතකර පරිදි සකස් කිරීමට රජය වහාම පහත පියවර කෙරෙහි අවධානය යොමුකළ යුතුව ඇත.
1- 'Adopting a Dual-Mandate Framework for the Central Bank' (මහ බැංකුවට ද්විත්ව වගකීමක් පැවරීම):
දැනට පවතින උද්ධමනය පාලනය කිරීමේ (Inflation targeting) තනි අරමුණ වෙනුවට, ඇමරිකාවේ ෆෙඩරල් සංචිතය (Federal Reserve) මෙන් "උද්ධමනය පාලනය සහ ආර්ථික වර්ධනය/රැකියා උත්පාදනය" යන ද්විත්ව වගකීම (Dual Mandate) මහ බැංකු පනතට ඇතුළත් කළ යුතුය. එවිට ආර්ථික වර්ධනය මුළුමනින්ම හකුලා දමා පොලී අනුපාත සමඟ සෙල්ලම් කිරීමට මහ බැංකුවට නොහැකි වේ.
2- 'Excluding Non-Monetary Cost Shocks from Core Inflation Calculation' (මූලික උද්ධමන ගණනය කිරීම් වෙනස් කිරීම):
දේශගුණික විපර්යාස නිසා සිදුවන ආහාර හිඟය, ලෝක තෙල් මිල සහ රජයේ වැට් (VAT) බදු වැඩිවීම් වැනි මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිවලට පාලනය කළ නොහැකි සාධක (Supply-side shocks), මූලික උද්ධමන දර්ශකයෙන් (Core Inflation) වෙන් කර ගණනය කළ යුතුය. එමඟින් පොලී අනුපාත අසාධාරණ ලෙස ඉහළ දැමීම වළක්වා ව්‍යාපාරිකයන්ට සහන සැලසිය හැක.
3- 'Formalizing an Institutional Coordination Council between Treasury and CBSL' (භාණ්ඩාගාරය සහ මහ බැංකුව අතර ස්ථාවර සම්බන්ධීකරණයක් හැදීම):
මහ බැංකුවේ ස්වාධීනත්වයට හානි නොකර, භාණ්ඩාගාරයේ බදු ප්‍රතිපත්ති (Fiscal policy) සහ මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති (Monetary policy) එකිනෙකට පරස්පර නොවී එකම ඉලක්කයක් කරා ගෙන යාම සඳහා නීතිමය සම්බන්ධීකරණ සභාවක් (Institutional Coordination Council) පිහිටුවිය යුතුය. එමඟින් පවතින ආර්ථික මන්දගාමීත්වය (Stagflation) 80%කින් මඟහරවා ගත හැක.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Ravi K Pushes Inflation Overhaul to Shield Rupee and Savings




