පසුගිය රජය සමයේ සිටි ප්‍රබලතම මැති ඇමැතිවරුන් සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් 30කට ආසන්න පිරිසකගේ වත්කම් හා බැඳීම් පිළිබඳ විමර්ශන (Asset Investigations) අතිශය කඩිනම් කිරීමට ආරක්ෂක සහ විමර්ශන අංශ පියවර ගෙන ඇත.
'මව්බිම' පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී අනුරාධා හේරත් විසින් අනාවරණය කර ඇති පරිදි, මෙලෙස දැඩි සෝදිසියට ලක්ව ඇත්තේ 2020 සිට 2024 දක්වා කාලය තුළ මෙරට දේශපාලන සහ පරිපාලන බලය හෙබවූ පිරිසකි.
පසුගිය සමයේ රාජ්‍ය මුදල්, දේපළ සහ ප්‍රතිපාදන අතිශය සාපරාධී ලෙස අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආයතන වෙත ගොනු වී ඇති පැමිණිලි සංඛ්‍යාව අතිවිශාලය. මෙතෙක් කල් මන්දගාමී ස්වභාවයකින් ක්‍රියාත්මක වූ මෙම ලිපිගොනු පරික්ෂා කිරීම් වත්මන් දේශපාලන වටපිටාව තුළ වේගවත් කර ඇති අතර, ඇතැම් සංකීර්ණ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් 'අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව' වෙත නිල වශයෙන් භාර දෙමින් පවතී.
දැලට කොටු වන ප්‍රධාන දේශපාලන නාමයන්
විශ්වාසදායක ආරංචි මාර්ගවලට අනුව, වත්කම් උපයාගත් ආකාරය පිළිබඳව කඩිනම් ප්‍රශ්න කිරීම්වලට සහ විගණනයන්ට මුහුණ දීමට නියමිත දේශපාලනඥයන් අතර මෙම ප්‍රබලයෝ සිටිති.
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්
හිටපු ඇමතිවරුන් වන චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ.
හිටපු කැබිනට් ඇමතිවරු
ජෝන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, මනූෂ නානායක්කාර සහ මහින්ද අමරවීර.
අමාත්‍යාංශ සහ සංස්ථා ලොක්කන් ද සෝදිසියට
දේශපාලනඥයන්ට පමණක් නොව, ඔවුන් යටතේ තිබූ අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරමින් අයුතු ලෙස වත්කම් උපයාගත් (Illicit Enrichment) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ ලිපිගොනු ද මීට ඇතුළත් ය.
රාජ්‍ය ආයතන තුළ සිදුවූ මහා පරිමාණ දූෂණ සහ වංචා රැසක පැමිණිලිවලට අදාළව මෙම නිලධාරීන්ගෙන්ද ඉදිරි දිනවලදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත අතර, නීතිවිරෝධී වත්කම් සොයාගතහොත් ඒවා රාජසන්තක කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනේ.
මුලාශ්‍රය :
ගිය ආණ්ඩුවේ නිලධාරීන් ඇතුළු මැති ඇමතින්ගේ වත්කම් විමර්ශනය කඩිනමින්




