කැනීම් අරඹා අවුරුද්දකට වැඩි කාලයක් ගතවූ පසු මුල්ම වතාවට එහි ගිය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සභාපති නීතිඥ මහේෂ් කටුලන්දගේ තහවුරු කිරීමද සමග දැනුම් දී තිබුනේ යුද හමුදාවේ කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ, ඔහු හමුවට ගිය OMP සභාපතිවරයාට ප්‍රකාශයක් ලබා දීමට කොන්දේසි පැනවූ බවයි.
"සභාපතිතුමා කියන්නේ එයා කියලා තියනවා එයාට ජනාධිපති සමාවක් දිලා එළියට දාන්න කියලා. එහෙමනේ සභාපතිතුමා. එළියට දාන්න කියලා. ඊට පසුව, ඔබතුමාමනේ ගියේ. එතුමාමයි ගියේ. ඊට පස්සේ කියන්නම් කියලා. ඇත්ත කියන්න ඕනේ මනුස්සයෙක්ට ඔය තරං දෙයක් අවශ්‍ය නෑනේ. අපිට කිව්වානං අපි හොයනවානේ. ඉතින් ඒක නිසා ඕක ඇත්තද බොරුද කියන එක අපි වෙනම බලමු."
යාපනයේ යුද සමයේ සිදු වූ සියලු ඝාතන සහ වධකාගාර පිළිබඳ තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කිරීමටත් , අදාළ යුද අපරාධවලට සම්බන්ධ සියලුම ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ගේ නම් හෙළි කිරීමටත් සූදානම් බවද ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගේ බිරිඳ වන එස්.සී. විජේවික්‍රම විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ලිපියක් යවමින් ඉකුත් අගෝස්තුවේ කියා තිබුණි.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සභාපති නීතිඥ මහේෂ් කටුලන්ද කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ හිරගෙදරදී තමන්ට කි දේ යාපනයේ මාධ්‍යවේදීන් ඉදිරිපිටදීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට චෙම්මනි සිත්තුපාත්ති හින්දු සුසාන භූමිය අසලදී දැනුම් දී සිටියේ “එයා කියන්නේ සර්, එයාට නිදහස දීලා එළියට දාන්න. ඊට පස්සේ එයා කියන්නං කියලා. රටේ නීතියට අනුව එහෙම කරන්න බෑනේ,” යනුවෙනි.
ජුනි 19 වැනි සිකුරාදා චෙම්මනි සමුහ මිනීවල නැරඹීමට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දහතුන් දෙනකුටත් අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලයේ අට දෙනකුටත් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබුණි. ඔවුන් සමග ගොස් සිටි ආණ්ඩු පක්ෂයේ යාපන දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන කරුනානාදන් ඉලන්කුමාරන් සහ රජීවන් ජෙයචන්ද්‍රමුර්තිද කැනීම් භූමියට පැමිණියේ පළමු වතාවට බව පළාත්බද මාධ්‍යවේදීහු පවසති.
2026 ජුනි 21 වැනි ඉරිදා වන විට චෙම්මනි සමූහ මිනීවලෙන් මිනිස් සිරුරු 405 ක් පාදාගෙන තිබුණි.
කැනීමෙන් ගොඩගන්නා සිරුරු සම්බන්ධයෙන් විශ්වසනීය ලෙස යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර විමර්ශකයන්ගේ දායකත්වය ලබාගන්න ලෙස බලකරමින් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විරෝධතාවක් පවත්වමින් කළ ඉල්ලීම අමාත්‍යවරයා එකහෙලාම ප්‍රතික්ෂේප කළේ ඒ සඳහා ප්‍රමාණවත් අපරාධ නීති පද්ධතියක් රටේ තිබෙන බව පවසමිනි. වල දමා ඇත්තේ අපරාධයකට ගොදුරු වූවන් බවට කරන ලද යෝජනාව බැහැර කළ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අපරාධකරුවන් නම් කරන ලෙස මාධ්‍යවේදීන්ට අභියෝග කළේය.
චෙම්මනිය හා ඒ අවට ප්‍රදේශයේ යුද හමුදාව විසින් සිරුරු සියගණනක් මරා වලදමා ඇති බව වසර ගණනාවකට ඉහත දි අධිකරණයට ප්‍රකාශ කළ දහනම හැවිරිදි ක්‍රිෂාන්ති කුමාරස්වාමි පාසල් ශිෂ්‍යාව දුෂණය කොට ඝාතනය කිරීමේ වරදට මරණීය දණ්ඩනය නියම වූ කෝප්‍රල් රාජපක්ෂ ඇතුළු සෙබළුන් 5ක් විසින් පෙන්වන ලද ස්ථානවලින් 1999 දී සිරුරු 15ක් ගොඩගන්නා ලදී.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ජුනි 19 වැනිදා සදහන් කළේ එම සිරුරු කොටස්වල වෝහාරික පරීක්ෂණ සම්බන්ධ තොරතුරු රජය සතුව නොමැති බවයි.
"ඒ තොරතුරු අපි ගාව නෑ. තියනවානං ඒක හොයා ගන්න පුළුවන්. 1998 තොරතුරු අපි ගාව නැ."
අතුරුදහන් වී ඇති එම තොරතුරු හෙළි කරගැනීම සඳහා මාලිමාන්ඩුව කවර පියවරක් ගෙන ඇතිදැයි අමාත්‍යවරයා පැහැදිලි කළේ නැත.
බහුතරයක් දෙමළ භාෂාව පමණක් හසුරුවන උතුරේ මාධ්‍යවේදීන් හමුවන අවස්ථාවේ දී අමාත්‍යවරයා පළපුරුදු පරිවර්තකයකු කැටුව නොයාමෙන් සන්නිවේදනය අවුල් වූ බව පෙනෙන්නට තිබුණි.
දහනම හැවිරිදි ක්‍රිෂාන්ති කුමාරස්වාමි පාසල් ශිෂ්‍යාව 1996 සැප්තැම්බර් 07 දා චෙම්මනියේ දී දුෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වූයේ සෝමරත්න රාජපක්ෂ, ආර්.එල්.එම්. ජයසිංහ, ඒ.ඒස්.පී. පෙරේරා, ඩී.එම්. ජයතිලක හා ඩී.වී. ඉන්ද්‍රජිත් කුමාර යන හමුදා භටයන් පස් දෙනාට හා පොලිස් භටයකු වූ ජී. ප්‍රදීප් ප්‍රියදර්ශනටය. වසර 20 ක සිරදඬුවම් නියම වූයේ ඩබ්.ඒ.ඩබ්.අල්විස්, ඩී.ජී.මුතුබණ්ඩා හා ඒ.පී. නිෂාන්ත යන හමුදා භටයන්ටය.




