* නොමිලේ ලැබුණු පොහොර අතුරුදහන් වීම, බියර් සහ සත්ව ආහාර සඳහා වී යොදාගැනීමේ සූදානම ගැනත් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලයි
දිවයින පුරා පැනනැඟී ඇති ගොවි විරෝධතා පිටුපස විපක්ෂයේ දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට රජය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය, අද පාරට බැස විරෝධතාවල නිරත වන්නේ පසුගිය මැතිවරණයේදී වත්මන් පාලක පක්ෂයට ඡන්දය පාවිච්චි කළ ගොවි ජනතාව සහ ගොවි සංවිධාන නියෝජිතයන් බව ප්‍රකාශ කරයි.
කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී අද (22) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න පෙන්වා දුන්නේ වත්මන් පාලනය කෙරෙහි තැබූ විශ්වාසය කඩවීම හේතුවෙන් ගොවි ජනතාව ස්වේච්ඡාවෙන් මෙලෙස පාරට බැස ඇති බවයි.
පොහොර අර්බුදය සහ අතුරුදහන් වූ සහනාධාර
කරුණු ගෙනහැර දක්වමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ, පසුගිය රජය සමයේ ලෝක ආහාර සංවිධානය හරහා රුසියාවෙන් නොමිලේ ලැබුණු මෙට්‍රික් ටොන් 55,000ක පොහොර තොගයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් බෙදාහැරීමට පෙර ආණ්ඩු මාරුව සිදුවූ බවයි. ඉතිරි පොහොර තොගයට සිදුවූයේ කුමක්දැයි හෙළිදරව් කළ යුතු බවත්, ජාවාරම්කරුවන් භාරයේ තිබී සොයාගත් පොහොර තොග සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ට ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, පොහොර මිටියක මිල ඉහළ යාම, ඉන්ධන සහ සීසෑමේ වියදම් වැඩිවීම හමුවේ ගොවියාට හිමිවිය යුතු සාධාරණ වී මිල අහිමි වී ඇති බවත්, විරුද්ධ පක්ෂයේ සිටියදී ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට රජය අපොහොසත් වී ඇති බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
හාල් ආනයනය, වී මිලදී ගැනීම සහ සත්ව ආහාර අර්බුදය
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේ, යල සහ මාස් කන්න දෙකෙහිම වී මෙට්‍රික් ටොන් ලක්ෂ 24ත් 25ත් අතර ප්‍රමාණයක් රට තුළ පවතිද්දී රජය විසින් මෙට්‍රික් ටොන් 1,57,000ක හාල් ප්‍රමාණයක් ආනයනය කිරීම හේතුවෙන් ග්‍රාමීය මට්ටමේ වී මිල රුපියල් 75-85 දක්වා ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බවයි.
ආණ්ඩුව භාරයේ පවතින වී තොග නිසි කලට වෙළෙඳපොළට නිකුත් නොකිරීම නිසා ඒවා අපතේ යන මට්ටමට පත්ව ඇති අතර, එම වී බියර් නිෂ්පාදනයට හෝ සත්ව ආහාර සඳහා යොදාගැනීමට සූදානම් වන බවට ද ඔහු චෝදනා කළේය. සත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනය සීමා කිරීම නිසා බඩඉරිඟු කිලෝවක මිල රුපියල් 210 දක්වා ඉහළ ගොස් බිත්තර නිෂ්පාදනය දිනකට ලක්ෂ 95 සිට ලක්ෂ 75 දක්වා පහත වැටී ඇති බව හෙතෙම කියා සිටියේය.
විපක්ෂයේ අවධාරණය
අද වන විට ගොවියාගේ නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, නිෂ්පාදනය සඳහා යන පිරිවැය අඩු වී ඇති බවට ප්‍රකාශ කිරීම ප්‍රායෝගික සත්‍යයෙන් බැහැරවීමක් බව විපක්ෂ නියෝජිතයෝ පවසති. ගොවීන්ගේ ප්‍රශ්නවලට දේශපාලන ලේබල් ඇලවීම හෝ ප්‍රාදේශීය වශයෙන් බලපෑම් එල්ල කිරීම නතර කර, රජය මැතිවරණ සමයේ වූ පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න සහ නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ශිරාස් යුනූස් ද සහභාගී වී අදහස් දැක්වූහ.





