තත්ත්වය පාලනයට වෙඩි තැබීම් සිදුවූ බවට අයිතිවාසිකම් සංවිධාන කියද්දී ජීවිත හානි අවම කිරීමට බලධාරීන්ගෙන් ඉල්ලීම්
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව සහ හදිසි තත්ත්වය
මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ අද (01) පස්වරුවේ හදිසියේ මතුවූ නොසන්සුන්කාරී තත්ත්වයක් සහ රැඳවියන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් අතුරින් එක් අයෙකු මියගොස් තිබේ. තුවාල ලැබූ සසු රැඳවියන් පිරිසක් ප්‍රතිකාර සඳහා රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ, බන්ධනාගාරයේ අඩි 15ක් පමණ උසැති තාවකාලිකව සකස් කරන ලද තහඩුවක් කඩාගෙන පිටතට පැමිණීමට රැඳවියන් පිරිසක් උත්සාහ කර ඇති බවයි. සිද්ධියත් සමඟ කඩවත සහ රාගම පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, මේ වන විට බන්ධනාගාරය ඇතුළත තත්ත්වය පාලනය කර ඇති බව ද හෙතෙම පැවසීය.
අමාත්‍යාංශයේ මැදිහත්වීම සහ ප්‍රදේශයේ තත්ත්වය
මහර බන්ධනාගාරයේ හටගත් මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ, රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහළය මතට නැඟ සිටින බවට තොරතුරු ලැබී තිබූ බවයි. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් තත්ත්වය සමනය කිරීම සඳහා වහාම මැදිහත් වූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සිද්ධිය සැලවීමත් සමඟ රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් බන්ධනාගාර පරිශ්‍රය අසලට රැස්ව සිටි අතර, පවතින තත්ත්වය පාලනය කර ඇති බැවින් බන්ධනාගාරය අසල රැඳී සිටින ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලීසිය උපදෙස් ලබා දී තිබිණි. කෙසේ වෙතත්, තවමත් ඥාතීන් පිරිසක් බන්ධනාගාරය අසල නොසන්සුන් ලෙස රැඳී සිටින ආකාරය දැකගත හැකිය.
මූලික අයිතිවාසිකම් සංවිධානවල අවධානය
මේ අතර, මහර බන්ධනාගාරයේ ඇති වූ මෙම කලබලකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා වෙඩි තැබීම් පවා සිදුව ඇති බවට තොරතුරු වාර්තා වන බව බන්ධනාගාරගත වූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRPR) නිවේදනය කරයි.
තත්ත්වය පාලනය කිරීමේදී සම්පූර්ණයෙන්ම නීතිමය රාමුව තුළ සිට කටයුතු කරන ලෙසත්, රැඳවියන්ගේ ජීවිත හානි වැළැක්වීමට ප්‍රමුඛතාව ලබාදෙමින් සිදුවිය හැකි හානිය අවම කරගැනීමට සියලු පියවර ගන්නා ලෙසත් එම සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.




