අතීතයේ ඝාතනය වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකිරීම සහ සුබසාධන හිමිකම් ගැන දීර්ඝ සාකච්ඡාවක්
'ඇසි දිසි පියවර' වැඩමුළුව සහ උතුරේ මාධ්‍ය හමුව
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ‘ඇසි දිසි පියවර’ විශේෂ මාධ්‍යවේදී වැඩමුළුවට සමගාමීව, උතුරු පළාතේ ජනමාධ්‍යවේදීන් මුහුණ දෙන කාලීන ගැටලු පිළිබඳව කෙරෙන සෘජු සාකච්ඡාවක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ මාධ්‍යවේදීන් නගන ප්‍රායෝගික අභියෝග රැසක් කෙරෙහි අවධානය යොමු විය.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ 2024 මහ මැතිවරණයේදී මෙරට ජනතාව විසින් සිදු කරන ලද දේශපාලනික වෙනසත් සමඟ උතුර සහ දකුණ යා කරන ජාතික යහපැවැත්මේ ප්‍රවේශයක් නිර්මාණය වෙමින් පවතින බවයි. මාර්ග, සෞඛ්‍ය, ප්‍රවාහනය සහ අධ්‍යාපනය වැනි යටිතල පහසුකම් සංවර්ධනයට සමානවම ජනමාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාව සහ වෘත්තීය අයිතිවාසිකම් තහවුරු කිරීමට ද රජය සූදානම් බව ඇය ප්‍රකාශ කළාය.
නව සුබසාධන යෝජනා සහ නීතිමය රාමුව
මාධ්‍යවේදීන්ගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩසටහන් පිළිබඳව කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරිය, මාධ්‍යවේදීන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂ රක්ෂණාවරණයක් සහ සහනදායී දුරකථන දත්ත පැකේජයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතින බව පැවසුවාය. ඊට අමතරව, මාධ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය අභිමානය හා ප්‍රමිතීන් සුරක්ෂිත කෙරෙන "වරලත් මාධ්‍ය ආයතනයක්" පිහිටුවීමේ පනත් කෙටුම්පත ද මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව තහවුරු කළාය.
ජාතිවාදයෙන් තොර දේශපාලන සංස්කෘතියක් සහ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන පරිසරයක් තුළ රටේ ආර්ථික වර්ධනය ඉහළ යමින් පවතින බැවින්, නැගී එන තරුණ පරම්පරාවට රට හැරයාමේ අවශ්‍යතාවක් මතු නොවන බව ද ඇය මෙහිදී අවධාරණය කළාය.
අතීත අපරාධ සඳහා යුක්තිය සහ ඉදිරි පියවර
අතීතයේදී ඝාතනයට ලක්වූ, අතුරුදහන් වූ සහ හිංසනයට ලක්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳව ද මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඊට අමතරව මාධ්‍යවේදීන්ගේ වැටුප් හා දීමනා විෂමතාවලට විසඳුම් සෙවීම, ක්ෂේත්‍රයේදී මුහුණ දීමට සිදුවන අනතුරු සහ තර්ජන හමුවේ ලබාදෙන ආරක්ෂාව මෙන්ම අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමවල ප්‍රතිලාභ නියමිත පරිදි මාධ්‍යවේදීන් වෙත ලබාදීම කෙරෙහි ද අවධානය යොමු විය.
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, වෘත්තීය නිදහස සහ සමාජ සුබසාධනය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතාවක් ලෙස සලකා කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.





