මහ භාණ්ඩාගාරය සතු නව සමාගම හරහා මූල්‍ය ශක්තිය සහ එකම මෙහෙයුම් ප්‍රමිතියක් ස්ථාපිත කිරීමට තීරණය
නව රාජ්‍ය සමාගම සහ කළමනාකරණ රාමුව
ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වන බහුමාන ප්‍රවාහන මධ්‍යස්ථාන (Multi-Modal Transport Hubs) පාලනය කිරීම, ප්‍රමිතීකරණය කිරීම සහ තිරසාර ලෙස පවත්වාගෙන යාම සඳහා මහ භාණ්ඩාගාරය සතු සියයට සියයක් රාජ්‍ය සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම නව සමාගම, ප්‍රවාහන යටිතල පහසුකම් මූල්‍යමය වශයෙන් ස්වයංපෝෂිත මට්ටමකින් පවත්වාගෙන යාමේ අරමුණින් පිහිටුවනු ලබයි.
ප්‍රවාහන අමාත්‍යාංශය සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල වන පරිදි මෙම යෝජනාව සම්මත කරගෙන ඇත. බස් රථ, දුම්රිය සහ ටැක්සි සේවාවන් එකම ස්ථානයකින් ඒකාබද්ධ කරමින් මගී කාලය ඉතිරි කිරීම සහ මාර්ග තදබදය අවම කිරීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කයයි.
වත්මන් ප්‍රවාහන මධ්‍යස්ථාන සහ යෝජිත ව්‍යාපෘති
දැනට මකුඹුර සහ කඩවත යන ප්‍රදේශයන්හි බහුමාන ප්‍රවාහන මධ්‍යස්ථාන සාර්ථකව ක්‍රියාත්මක වන අතර, දිනපතා දහස් සංඛ්‍යාත මගී ජනතාවක් සඳහා සේවාවන් සපයනු ලබයි. මීට අමතරව, මහනුවර සහ අනුරාධපුර (දකුණ) ප්‍රදේශයන්හි ද මෙවැනි මධ්‍යස්ථාන ඉදිවෙමින් පවතින අතර ඉදිරියේදී ගම්පහ, රත්නපුර සහ කුරුණෑගල ඇතුළු ප්‍රධාන නගර රැසක මෙම ව්‍යාපෘති ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
මීට පෙර ස්ථිර ආයතනික ව්‍යුහයක් නොමැති වීම හේතුවෙන් විවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන අතර එක හා සමාන මෙහෙයුම් ප්‍රමිතියක් පවත්වාගෙන යාමට නොහැකි වූ අතර, නඩත්තු කටයුතු සහ වාණිජ මෙහෙයුම් විසිරුණු ස්වභාවයක පැවතිණි. නව වාණිජ සමාගම පිහිටුවීමත් සමඟ ව්‍යාපාරික සංවර්ධනය, නඩත්තුව, මෙහෙයුම් කළමනාකරණය සහ ජාතික ප්‍රතිපත්තිමය ඒකාබද්ධතාව එකම ආයතනයක් යටතේ සිදුකිරීමට මග පාදෙයි.
වාණිජ ස්ථාවරත්වය සහ මගී සේවා ප්‍රමිතිය
ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, නවීන ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් බහුමාන ප්‍රවාහන සංකල්පය සාර්ථක කරගත නොහැකි බවයි. විධිමත් කාලසටහන් සකස් කිරීම, බස් සහ දුම්රිය සේවා අතර වේලාවන් ගැළපීම, මගී තොරතුරු පද්ධති නිසි ලෙස පවත්වාගෙන යාම සහ වාණිජමය වශයෙන් ආදායම් උපයාගැනීම යන කරුණු කෙරෙහි නව සමාගම අවධානය යොමු කළ යුතුවේ.
රාජ්‍ය අයිතිය සහ ප්‍රතිපත්තිමය පාලනය තබා ගනිමින්, වාණිජමය වශයෙන් ස්වාධීන පාලන ව්‍යුහයක් සැකසීම හරහා මහජන මුදල් මත යැපීම අවම කරගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරයි. එමෙන්ම, විවිධ පරිපාලන ආයතන අතර පැවැති අනවශ්‍ය කාර්යයන් සහ වියදම් අවම කරගනිමින්, පොදු ප්‍රවාහනය කෙරෙහි මහජන විශ්වාසය ඉහළ නැංවීම මෙම ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අපේක්ෂාව වී තිබේ.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
State Firm to Transform Multi-Modal Public Transport Network




