සාක්ෂිකරුවන් 25 දෙනෙකුගේ නාමලේඛනයක් සහ ලේඛන 47ක් අල්ලස් කොමිසමෙන් අධිකරණයට
අල්ලස් කොමිසමෙන් කොළඹ මහාධිකරණයට නඩුවක්
දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරමින් නඩු පවරා තිබේ.
මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ ද, දෙවැනි විත්තිකරු ලෙස යෝෂිත කනිෂ්ක රාජපක්ෂ ද නම් කර ඇත.
චෝදනාවල ස්වභාවය සහ පසුබිම
2006 වසරේ සැප්තැම්බර් මස 01 වන දා සහ 2007 වසරේ ජූනි මස 08 වන දා අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කරමින්, නාවික හමුදාවේ නිසි අධ්‍යාපන සුදුසුකම් සපුරා නොමැති පසුබිමක යෝෂිත රාජපක්ෂ බඳවා ගනිමින් බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ (Royal Naval College) පවත්වන ලද 'Royal Navy Young Officers Course' පාඨමාලාව සඳහා සහභාගී වීමට අයුතු ලෙස අවස්ථාව සලසා දීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ට චෝදනා එල්ල වී ඇත.
එමෙන්ම, එම ක්‍රියාව මගින් රජයේ පිරිවැයෙන් අයුතු ලාභයක් ලබාගත් බවට දෙවැනි විත්තිකාර යෝෂිත රාජපක්ෂ ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබේ.
අධිචෝදනා පත්‍රය සහ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 08ක් යටතේ නඩුව ගොනු කර ඇති අතර, ඊට අදාළව සාක්ෂිකරුවන් 25 දෙනෙකුගේ නාමලේඛනයක් සහ නඩුවට අදාළ සාක්ෂි ලේඛන 47ක ලේඛනයක් ද අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති මෙම අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීම සඳහා ඉදිරියේදී අධිකරණය විසින් සිතාසි නිකුත් කිරීමට නියමිතව තිබේ.




