*උතුරු-නැගෙනහිර ඝාතනය වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටුකිරීම තවමත් ප්‍රමාද බවට යාපනයෙන් හඬක්
උතුරේ මහමගදී වෙඩිතබා ඝාතනය කරන ලදුව දහනම අවුරුද්දක් තිස්සේ යුක්තිය ඉටුවී නැති තරුණ දෙමළ මාධ්‍යවේදියකුගේ ගුණානුස්මරණය යාපනයේදී සිදු කර තිබේ.
මරා දමන විට විසි දෙවැනි වියේ පසුවූ සහදේවන් නිලක්ෂන් මාධ්‍යවේදියා සිහිපත් කිරීම 2026 අගෝස්තු 1 වැනි සෙනසුරාදා යාපනය මාධ්‍ය සමාජයේ දී සිදු කර ඇත්තේ එහි සභාපති කේ. සෙල්වකුමාර්ගේ ප්‍රධානත්වයෙනි.
පළමු රාජපක්ෂ පාලන සමයේ 2007 අගෝස්තු 01වැනිදා උදෑසන 5,30 ට පමණ යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් විසින් යාපනයේ බටහිර කොකුවිල් හි දුම්රිය පොළ පාරේ පිහිටි සහදේවන් නිලක්ෂන්ගේ නිවස ඉදිරිපිට දී ඔහු වෙඩිතබා ඝාතනය කර තිබුනි. අපරාධකරුවන් විසින් ඔහු නිවසින් පිට කරවා ගෙන ඇත්තේ බියවද්දා ගත් මිතුරකු යොදාගෙන කැඳවා ගැනීමෙනි.
සහදේවන් නිලක්ෂන් ගේ දහ නම වැනි ගුණානුස්මරණය එක්වු යාපනයේ මාධ්‍යවේදීන්, හා ඥාතීන් ඇතුළු පිරිස ඔහුගේ සේයාරුවකට මල් දම් පළඳා පුෂ්පෝහාර දක්වා ඇත.
නිලක්ෂන් යාපනය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය සමීක්ෂණ හා පුහුණු ආයතනයේ ජනමාධ්‍ය විෂය හැදෑරීමෙහි නිරතව සිටි අර්ධ කාලීන මාධ්‍යවේදියකු වූ අතර යාපනය දිස්ත්‍රික් ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පළකරන ලද ජනප්‍රිය ශිෂ්‍ය ප්‍රකාශනයක් වූ 'සාරලම්' සඟරාවේ සංස්කාරක ද විය.
ඔහුගේ 19 වැනි අනුස්මරණයේදී යාපනය මාධ්‍ය සමාජයේ සභාපති කේ. සෙල්වකුමාර් අවධාරණය කර සිටියේ පැවැති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුවත් ඝාතනය වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කිරීම මග හරිමින් සිටින බවයි.
“අපි එක්ක එකට වැඩ කරපු මාධ්‍යවේදීන් 39 දෙනාට මොනවා ද වුණේ? මේ ආණ්ඩුවත් වැරදිකරුවන්ව ආරක්ෂා කරන්න උත්සාහ කරනවා ද? මේ අනුරගේ ආණ්ඩුව බලයට එන්න අවුරුදු දෙකකට කලින් මාධ්‍යවේදීන්ගේ ඝාතනවලට යුක්තිය ඉටු කරන්න අවශ්‍ය විමර්ශන කරනවා කිව්වා. දැන් බලයට ඇවිත් අවුරුදු දෙකක් වෙලා තිබුණත්, ඝාතනය කෙරුණ මාධ්‍යවේදීන් ගැන කිසිම දෙයක් කියන්නේ නැතිව ඉන්නවා. කලින් ආණ්ඩු වගේම තමයි මේ ආණ්ඩුවත් වැඩ කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් අතීතයේ වුණ සිදුවීම්, එහෙම වුණා කියලා අතහැරලා ගියොත් ඉදිරි කාලයේදී ඒ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙයි ද කියන සැකයක්. ඒ සිදුවීම්වලට යුක්තිය ඉටු වෙද්දී තමයි ඒ රට ආර්ථික වශයෙන් වුණත් හොඳ දියුණුවක් අත්පත් කරගන්නේ. ”
JDS නමින් ප්‍රකට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනමාධ්‍යවේදියෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කොට ඇති, මරා දැමුණු ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය ශ්‍රමිකයන් 44 කගේ ලැයිස්තුවට අයත් බහුතරය උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කළ දෙමළ මාධ්‍යවේදීන්ය.
නිලක්ෂන් ඝාතනය ඇතුළු මරා දැමුණු සෙසු උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් පිළිබඳව විධිමත් අපක්‍ෂපාති පරීක්ෂණයක් සිදු කිරීමට මෙතෙක් බලයට පත් කිසිදු ආණ්ඩුවක් කටයුතු කර නැත.





