*තදබදය අවම කිරීමට ව්‍යවස්ථාපිත හා තාක්ෂණික පියවර රැසක්: පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විශේෂ සාකච්ඡාවක්
මහර නොසන්සුන්තාව සහ සිදු වූ හානිය
පසුගිය අගෝස්තු 01 වන දින මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වන අධිකරණ සහ පෝරණික (Forensic) පරීක්ෂණ මේ වන විට තවදුරටත් පුළුල් කර තිබේ. මෙයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අගෝස්තු 02 වන දින පවත්වා ඇති අතර, පෝරණික නිලධාරීන් විසින් ඊයේ (අගෝස්තු 03) බන්ධනාගාර පරිශ්‍රය තුළ ක්ෂේත්‍ර පරීක්ෂණ සිදුකරන ලදී.
මෙම නොසන්සුන්තාව හේතුවෙන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූවන් මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. සිදුවීමේදී බන්ධනාගාර ගොඩනැගිලි සහ දේපළවලට සිදුව ඇති අලාභහානිය රුපියල් මිලියන 150 ඉක්මවන බවට තක්සේරු කර ඇත. ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකිරීම සඳහා ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි දින තුනක කාලයකට රැඳවියන් නැරඹීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 104 දෙනෙකු දුම්බර, වැලිකඩ, බූස්ස, කළුතර, බදුල්ල, මඩකලපුව සහ පොලොන්නරුව යන බන්ධනාගාර 07 වෙත මාරු කර යවා ඇති අතර, ආයතන කිහිපයක් මගින්ම මේ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
බන්ධනාගාර තදබදය නිරාකරණයට නීතිමය හා තාක්ෂණික යෝජනා
මේ අතර, මෙරට බන්ධනාගාරවල පවතින දැඩි තදබදය සහ රැඳවියන්ගේ අධික ගහනය අවම කිරීම සඳහා වූ විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පාලන, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත. ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්විණි.
බන්ධනාගාර තදබදය අවම කිරීම උදෙසා රජය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන නිලධාරීන් සංඛ්‍යාව ඉහළ නැංවීම, රැඳවියන් වෙනත් පහසුකම් සහිත ස්ථාන වෙත මාරු කිරීම, යටිතල පහසුකම් නැංවීම, රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, නීතිමය සංශෝධන හඳුන්වාදීම, අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සහ ප්‍රජා විශෝධන ක්‍රමවේද ප්‍රචලිත කිරීම යන කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.
විශේෂයෙන්ම 1929 අංක 17 දරන විෂ, අබින් සහ අන්තරායදායක ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් කාරක සභාව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අතර පවතින වෙනස නීතිමය වශයෙන් පැහැදිලිව වෙන්කර හඳුනාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
ගෘහස්ථ අත්අඩංගුව සහ විකල්ප දඬුවම් ක්‍රම
සැකකරුවන් බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙස 'ගෘහස්ථ අත්අඩංගුව' (House Arrest) ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට පියවර ගනිමින් සිටින බව යුක්ති අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැනුම් දුන්හ.
මීට අමතරව ඇප ක්‍රමය ලිහිල් කිරීම, සුළු වැරදි සඳහා විකල්ප දඬුවම් හඳුන්වාදීම, බන්ධනාගාර කළමනාකරණය නූතනකරණය කිරීම, කාර්ය මණ්ඩල හිඟයට පිළියම් ලෙස නිලධාරීන් අලුතින් බඳවා ගැනීම, සහ සුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීමට, ප්‍රජා සේවාවන්හි යෙදවීම පිළිබඳව ද සාකච්ඡා විය. ඇප මුදල් ගෙවා ගැනීමට නොහැකිවීම නිසාම දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පිරිස් කෙරෙහි ද කාරක සභාවේ අවධානය යොමු විය.
රඳවා සිටින කාන්තාවන් සහ දරුවන්ගේ සුබසාධනය
බන්ධනාගාරගතව සිටින කාන්තා රැඳවියන් සහ ඔවුන් සමඟ පසුවන අවුරුදු පහට අඩු දරුවන්ගේ සුබසාධනය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි. දරුවන්ට අවුරුදු පහ පිරුණු පසු ඔවුන්ගේ ඉදිරි ආරක්ෂාව සහ නඩත්තුව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව භාරයට පත්කිරීමේ හැකියාව ඇතුළු පවතින යාන්ත්‍රණයන් පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කර ඇත.
ආංශික අධීක්ෂණ කාරක සභාව සිය අවසාන වාර්තාව සකස් කිරීමට ප්‍රථම, බන්ධනාගාර නිලධාරීන්ගේ අදහස් ලබාගැනීමටත්, බන්ධනාගාරවල පවතින සැබෑ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවල නිරත වීමටත් තීරණය කර තිබේ.
මුලාශ්‍රය :
Forensic probe into Mahara unrest




