උඩරට ගිවිසුම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය පදනම් කරගනිමින් සංස්කෘතික උරුමයන් සුරැකීමට බලපෑම්
සත්ත්ව සුබසාධන පනත සහ පෙරහැර චාරිත්‍ර
රජය මගින් ගැසට් පත්‍රයේ පළ කර ඇති සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත මගින් මෙරට පාරම්පරික පෙරහැර සංස්කෘතියට සහ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍රවලට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව අවධානය යොමු කරමින් එක්සත් ජාතික පක්ෂය විශේෂ යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි. කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුයේ, පනත් කෙටුම්පතේ පවතින ඇතැම් වගන්ති මගින් පෙරහැර සඳහා අලි ඇතුන් සහභාගී කරවීමේදී ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකි බවයි.
1815 උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන පරිච්ඡේදයේ 9 වන වගන්තිය මගින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් ලෙස දක්වා ඇති බව හිටපු අමාත්‍යවරයා සිහිපත් කළේය. ඒ අනුව, පෙරහැර සඳහා සහභාගී වන හීලෑ අලින්ගේ සුබසාධනය උදෙසා නීති හා රෙගුලාසි සකස් කිරීමේදී සියම් මහා නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන්, අමරපුර හා රාමඤ්ඤ මහා නිකායන්හි මහානායක හිමිවරුන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ එකඟතාව ලබාගැනීම අනිවාර්ය වන පරිදි සංශෝධන ඇතුළත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය යෝජනා කරයි.
නෛතික අඩුපාඩු සහ ජාත්‍යන්තර ආකෘති
යෝජිත පනත් කෙටුම්පතේ පවතින ඇතැම් නෛතික හිඩැස් පිළිබඳව කරුණු දැක්වූ වජිර අබේවර්ධන, ඖෂධ සහ ආලේපන පරීක්ෂණ සඳහා සතුන් භාවිත කිරීම නිදහස් කර තිබීම වැනි කරුණු පෙන්වා දුන්නේය. නවසීලන්තයේ 1999 සත්ත්ව සුබසාධන පනත වැනි ජාත්‍යන්තර නීති රාමූන්හි ඇතුළත් 'සත්ත්ව සදාචාර කමිටු' (Animals Ethics Committee) සහ සතුන්ට සිදුවන හිංසනයන් වැළැක්වීමේ විධිවිධාන මෙරට පනත් කෙටුම්පතට අන්තර්ගත වී නොමැති බව ඔහු පැහැදිලි කළේය.
එසේම, සත්ත්ව පනත (Animal Act) සහ යෝජිත පනත් කෙටුම්පත අතර පවතින අන්තර් සබඳතාව පැහැදිලි නොමැති බවත්, ගෘහස්ථ සතුන් සහ සුරතල් මසුන් ඇති කරන්නන් මුහුණ දිය හැකි ප්‍රායෝගික ගැටලුවලට නිසි විසඳුම් ඇතුළත් විය යුතු බවත් එජාප සභාපතිවරයා පෙන්වා දුන්නේය. මෙම යෝජිත මණ්ඩල සඳහා දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ නියෝජිතයෙකු සහ මහානායක හිමිවරුන්ගේ නිර්දේශය සහිත සත්ත්ව සුබසාධනය පිළිබඳ ප්‍රවීණයන් ඇතුළත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.
දේශපාලන සහ සංස්කෘතික විවේචන
මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ, රජය මගින් ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත තුළ පැහැදිලි නිර්නායක ඇතුළත් කර නොමැති අතර, එමගින් පාරම්පරික සංස්කෘතික අංගයන්ට බාධා එල්ල වීමේ අවදානමක් පවතින බවයි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික පසිඳු ගුණරත්න ද මෙම අවස්ථාවට එක්වෙමින් පනතේ සංශෝධන කෙරෙහි පාර්ලිමේන්තුවේ සහ මහා සංඝරත්නයේ අවධානය යොමු විය යුතු බව ප්‍රකාශ කළේය.




