අල්ලස් කොමිසමේ විමර්ශන සහ නඩු පැවරීමේ බලතල තහවුරු කෙරෙන සුවිශේෂී නෛතික පූර්වාදර්ශයක්
අභියාචනාධිකරණ තීන්දුව සහ නඩුවේ පසුබිම
සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ (CWE) සේවකයන් නිල රාජකාරිවලින් ඉවත් කර වෙනත් කටයුතු සඳහා යොදවා, රජයේ මුදලින් වැටුප් හා අතිකාල දීමනා ගෙවීම මගින් රුපියල් මිලියන 60කට ආසන්න පාඩුවක් සිදුකළ බවට එල්ල වූ චෝදනාවලින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය අභියාචනාධිකරණය අද (04) බලරහිත කළේය.
පී. කුමාරරත්නම්, ඩී. තොටවත්ත, කේ. එම්. එස්. දිසානායක, කේ. පී. ඊ. ප්‍රනාන්දු සහ අන්නාලිංගම් ප්‍රේමශංකර් යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති නඩු 06ම නැවත ඉදිරියට පවත්වාගෙන යන ලෙස මහාධිකරණයට නියෝග කෙරිණි.
නඩුවේ පළමු විත්තිකරු ලෙස එවකට සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු වැඩබලන අධ්‍යක්ෂ මොහොමඩ් සකීර් දෙවන සහ තෙවන විත්තිකරුවන් ලෙස ද නම් කර ඇත. ඔවුන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ නීතිවිරෝධී ලෙස බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ගොනුකර තිබේ.
මහාධිකරණ තීන්දුව සහ අල්ලස් කොමිසමේ ප්‍රතිශෝධනය
010 සිට 2014 දක්වා කාලය තුළ සිදුවූ බව කියන මෙම දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීම සහ නඩු පැවරීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සනින් තොරව සිදුවීම නීතිවිරෝධී බවට විත්තියේ නීතිඥවරුන් මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණි. එම විරෝධතාව පිළිගනිමින් 2023 මැයි 19 වන දින කොළඹ මහාධිකරණය විසින් විත්තිකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා ලදී.
මහාධිකරණයේ එම තීන්දුවට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයැදුම්පතක් ඉදිරිපත් කළ අතර, දීර්ඝ සලකා බැලීමකින් අනතුරුව පංච පුද්ගල විනිසුරු මඬුල්ල අද දින අදාළ නියෝගය ලබා දුන්නේය.
නෛතික ප්‍රතිපාදන සහ පූර්වාදර්ශය
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ 1994 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 2 (8) වගන්තිය ප්‍රකාරව, කොමිසමේ බලතල ක්‍රියාත්මක කිරීමට කොමසාරිස්වරුන් තිදෙනාම එක්ව සිටීම අත්‍යවශ්‍ය නොවන බවයි. කොමිෂන් සභාවේ සාමාජිකයෙකු විසින් වෙනම අසුන්ගෙන බලතල ක්‍රියාත්මක කරන අවස්ථාවකදී ද එය කොමිෂන් සභාවේ ක්‍රියාවක් ලෙස සැලකෙන බව විනිසුරු මඬුල්ල පැහැදිලි කළේය.
එසේම, සෑම විමර්ශනයකටම සහ නඩු පැවරීමකටම කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන අවශ්‍ය බව තීන්දු කිරීමෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ප්‍රමාද වන බවත්, මහාධිකරණයට ඉදිරිපත් කරන අධිචෝදනා පත්‍රයක වලංගුභාවය ප්‍රශ්න කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බවත් විනිසුරු මඬුල්ල අවධාරණය කළේය.
2018 අංක 22 දරන අල්ලස් (සංශෝධන) පනත යටතේ නඩු පැවරීමේ නීත්‍යානුකූලභාවය සහ අල්ලස් කොමිසමේ විමර්ශන බලතල සම්බන්ධයෙන් මෙම තීන්දුව සුවිශේෂී නීතිමය පූර්වාදර්ශයක් ලෙස සැලකේ.




