*වසරකට 2,500ක් වන මාරක අනතුරු පාලනයට කලවංචිකුඩියෙන් ඇරඹෙන යතුරුපැදි මංතීරු නියමු ව්‍යාපෘතිය
අධිවේගී මාර්ග ආසන පටි නීතිය සහ මාස 3ක සහන කාලය
දිනෙන් දින ඉහළ යන මාරක රිය අනතුරු පාලනය කිරීමේ සහ මගී ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා පිරිස් සඳහා ආසන පටි (Seat Belts) පැළඳීම අනිවාර්ය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහාමාර්ග) නියෝග සංශෝධනය කරමින් නිකුත් කළ අංක 2493/19 දරන අති විශේෂ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. නිෂ්පාදකයන් විසින් ආසන පටි සවිකර නොමැති වාහන සඳහා එම පහසුකම් සපයා ගැනීමට ලබාදී තිබූ සහන කාලය 2026 සැප්තැම්බර් 19 දක්වා තවත් මාස 3කින් දීර්ඝ කිරීමට ද මෙහිදී පියවර ගෙන තිබේ.
ප්‍රවාහන සේවා වාහනවල ධාවන යෝග්‍යතාව පරීක්ෂාවට නව නියෝග
මෑතකදී සිදු වූ බරපතල ගණයේ රිය අනතුරු බොහොමයකට වාහනවල පැවැති කාර්මික දුර්වලතා සහ ධාවන යෝග්‍යතාවයේ පවතින ගැටලු හේතු වූ බව මෝටර් වාහන පරීක්ෂකවරුන්ගේ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඊට විසඳුමක් ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය වන මගී ප්‍රවාහන, පාසල් ළමුන් ප්‍රවාහන, කාර්යාල සේවා සහ කුලී පදනම මත ධාවනය වන වාහනවල ධාවන යෝග්‍යතාව නන් අයුරින් පරීක්ෂා කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කර තිබේ. ඒ සඳහා මෝටර් වාහන පනත යටතේ නිකුත් කරන ලද "2026 අංක 03 දරන මෝටර් වාහන (පරීක්ෂා කිරීමේ) නියෝග" පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
යතුරුපැදි සඳහා වෙනම මංතීරු පද්ධතියක්
මේ අතර, මෙරට ප්‍රධාන මාර්ගවල යතුරුපැදි ධාවනය සඳහාම වෙන් වූ විශේෂ මංතීරු (Dedicated Motorcycle Lanes) හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇත. එහි නියමු ව්‍යාපෘතිය (Pilot Project) කලවංචිකුඩි නගරයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
වාර්ෂිකව මෙරට සිදුවන රිය අනතුරුවලින් බහුතරයක් යතුරුපැදි අශ්‍රිතව සිදුවන බව පෙන්වා දෙන ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක, 2025 වසරේදී පමණක් මාරක අනතුරුවලින් පුද්ගලයන් 2,750ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් කළේය. යතුරුපැදි අධික ලෙස සංසරණය වන ප්‍රදේශවල සාමාන්‍ය මංතීරු සලකුණුවලට අමතරව භෞතික මාර්ග බාධක (Road Breakers) යොදා ගනිමින් යතුරුපැදි මංතීරුව වෙන් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
යතුරුපැදි අනතුරු සම්බන්ධයෙන් මිට දින කිහිපයකට පෙර ''රෙඩ් ඇලට්'' සිදුකල විශේෂ අනාවරණයකට අදාල වීඩියෝවක් මතු පළවේ.




