ඔන්ලයින් සූදු නියාමනය සහ අපරාධවලින් උත්පාදිත දේපළ කළමනාකරණ අධිකාරියේ ප්‍රගතිය ජනපති විමසයි
තෙවන අන්‍යෝන්‍ය ඇගයීම සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රමිතීන්
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම (3rd Mutual Evaluation) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය තහවුරු කෙරෙන මෙම තෙවන ඇගයීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මුදල් කාර්ය සාධක බලකාය (FATF) හඳුන්වා දුන් නිර්දේශ 40 සම්බන්ධයෙන් වූ තාක්ෂණික අනුකූලතාව සහ එම නිර්දේශ ක්‍රියාවට නැංවීමේදී දක්නට ලැබෙන ආසන්න ප්‍රතිඵල 11ක් තුළින් ඇගයෙන සඵලදායීතාව පරීක්ෂා කිරීම මෙහිදී සිදු කෙරේ.
මහ බැංකුවේ සහ පාර්ශ්වකාර ආයතනවල කාර්යභාරය

ඇගයීම් කණ්ඩායමේ ක්ෂේත්‍ර නිරීක්ෂණ කටයුතු ඉදිරි මාස කිහිපය තුළ සිදුකිරීමට නියමිත අතර, අදාළ නිර්දේශ විධිමත්ව ක්‍රියාවට නැංවීම සඳහා සියලු ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙම ඇගයීම් ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාව 2023 වර්ෂයේ සිට සූදානම් වූ බවත්, පසුගිය වසර දෙක තුළ අදාළ සූදානම තීව්‍ර කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු සඳහන් කළහ. මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම විසින් පවත්වනු ලබන මෙම ජාතික මට්ටමේ විගණන ක්‍රියාවලිය සඳහා දේශීය පාර්ශ්වකාර රාජ්‍ය ආයතන 25ක් පමණ සම්බන්ධ වන අතර, එහි සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මෙහෙයවනු ලබයි.
ඔන්ලයින් සූදු නියාමනය සහ දේපළ කළමනාකරණ අධිකාරිය

මෙහිදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදුවන සූදු ක්‍රියාකාරකම් (Online Gambling) පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊට අදාළ නීති පැනවීමේ වත්මන් තත්ත්වය පිළිබඳව ද ජනාධිපතිවරයා විශේෂයෙන් විමසා සිටියේය.
එමෙන්ම, අපරාධයකින් උත්පාදිත දේපළ කළමනාකරණ අධිකාරිය පිහිටුවීමේ ප්‍රගතිය පිළිබඳව ද අවධානය යොමු වූ අතර, එම අධිකාරිය වඩාත් සක්‍රීය මට්ටමින් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. අදාළ අධිකාරිය පිහිටුවීමේ කටයුතු නිම කර ඇති අතර, මේ වන විට ඊට අවශ්‍ය කාර්යමණ්ඩල බඳවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බව නිලධාරීහු මෙහිදී තහවුරු කළහ.
මෙම සාකච්ඡාව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, නීතිපති පාරින්ද රණසිංහ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් නලින්ද නියංගොඩ ඇතුළු අල්ලස් කොමිසම හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීහු එක්ව සිටියහ.
ආර්ථික අර්බුදය හමුවේ සාමාන්‍ය ජනතාව අධික බදු බරින් මිරිකෙද්දී, නීතියේ හිඩැස් සහ පරිපාලනමය ප්‍රමාදයන් හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන ගණනක ජාතික ධනයක් විදේශීය අන්තර්ජාල සූදු සමාගම් වෙත ඇදී යයි. සූදු නියාමන අධිකාරි පනත සම්මත වුවද ඊට අදාළ රෙගුලාසි ක්‍රියාත්මක නොවීම නිසා මෙරට තරුණ පරපුරත්, රාජ්‍ය ආදායමත් දැවැන්ත අනතුරක වැටී ඇති අන්දම හෙළිදරව් කළ ‘රෙඩ් ඇලර්ට්’ විශේෂ විමර්ශනය මතු පළවේ.




