විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ තීරණයට ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමයේ අවධානය
විනිසුරු සංඛ්‍යාව, නඩු පූර්ණය සහ යටිතල පහසුකම් පුළුල් කිරීම
මෙරට අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනමින් විභාග කර අවසන් කිරීමේ අරමුණින්, විනිසුරුවරුන් සංඛ්‍යාව, අධිකරණ සංඛ්‍යාව සහ ඊට අදාළ යටිතල පහසුකම් පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබේ.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, දැනට 94ක් වන මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 120 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවයි. එමෙන්ම, අභියාචනාධිකරණයේ දැනට පවතින පුරප්පාඩු 4 පිරවීමට සහ එහි විනිසුරු සංඛ්‍යාව සභාපතිවරයා ද ඇතුළුව 20 සිට 25 දක්වා වැඩි කිරීමට ද පියවර ගැනේ. මීට අමතරව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රාත්‍රී කාලයේ සේවාවන් සක්‍රීය කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයාදීමට ද තීරණය කර ඇත.
මේ අතර, අධිකරණ අමාත්‍යාංශයේ දත්තවලට අනුව මෙරට අධිකරණ පද්ධතිය තුළ දැනට විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව ලක්ෂ 11ක් (මිලියන 1.1ක්) ඉක්මවයි. මෙම නඩු ගොඩගැසීමේ අර්බුදයට ඉක්මන් විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් (PSC) පත්කරන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රී කණ්ඩායම විසින් අත්සන් කරන ලද විශේෂ යෝජනාවක් කථානායක ආචාර්ය ජගද් වික්‍රමරත්න වෙත භාර දී තිබේ.
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ ව්‍යවස්ථා සංශෝධනය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර 2කින් ඉහළ නැංවීම සහ අග්‍රවිනිශ්චයකාරවරයාගේ නිල කාලය වසර 6කට සීමා කිරීම ඇතුළත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර තහවුරු කළේය.
අදාළ පනත් කෙටුම්පත් ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිත අතර, ගැසට් කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට පාර්ශවයන්ට අවස්ථාව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමයේ (IAJ) නීතිමය නිරීක්ෂණය
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය (International Association of Judges - IAJ) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
රටවල් 93ක විනිසුරු සංගම් නියෝජනය කරන මෙම ජාත්‍යන්තර සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තියට වඩා, එම පනත ඉදිරිපත් කළ ආකාරය, ඊට අදාළ කාලවේලාව සහ ඊට හේතු වූ පසුබිම පිළිබඳව නීති ක්ෂේත්‍රය තුළ යම් සංවාදයක් මතුව ඇති බවයි. අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරැකෙන පරිදි, පූර්ණ පාරදෘශ්‍ය සහ පුළුල් සංවාදයකින් පසුව මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමේ වැදගත්කම ද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.




