මර්දනයට එරෙහිව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක පෙළට: ආණ්ඩුවෙන් වහාම විමර්ශනයක් ඉල්ලයි
සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවිධානයේ ඉහළම නියෝජිතයන් දෙදෙනාට මරණ තර්ජන එල්ල වී තිබේ.
එම තර්ජන දැඩි ලෙස හෙලා දකිමින් වෘත්තීය සමිති ඇතුලු බහුජන සංවිධාන විසින් අගෝස්තු 6 වැනි බ්‍රහස්පතින්දා කොළඹදී කැදවා තිබු මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් හෙළි කළේ සිරකරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් මැදිහත්වීම වහාම නවතා දමන ලෙස මරණ තර්ජන එල්ල කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපතිවරයාට හා කැඳවුම්කරුට ලිපි දෙකක් අගෝස්තු 5 වැනිදා එම සංවිධානයේ කාර්යාලයට ලැබී ඇති බවයි.
මීගමුව හා මහර ඇතුළු බන්ධනාගාර තුල සිරකාර මනුෂ්‍යයන්ගේ මරණ ගැන CPRP නායකත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කිරීමද දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ.
"මේ දෙන්නටම මේ වෙනකොට තර්ජනාත්මක ලිපි දෙකක් ඇවිල්ලා තියනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න එපා. කටයුතු කරොත් අඩි හයක් පොළව යටට යන්න පුළුවන් කියන කාරනාව."
'දේශප්‍රේමී ආරක්ෂක අංශයේ' තර්ජනය !
"දේශප්‍රේමී ආරක්ෂක අංශය" යනුවෙන් සදහන් කරමින් ජුලි 17 දිනය යොදා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතීඥ සේනක පෙරේරාට හා එම කමිටුව කැදවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වාට වෙන වෙනම යවා ඇති තර්ජනාත්මක ලිපි දෙකක් අපට දැකගන්නට ලැබී තිබේ.
"ජිනීවා ගිහිල්ලා රට ගැන කේලාම් කියන්න උඹලාට ලැජ්ජා නැද්ද? උබලා ජිනීවා ගිහිල්ලා නිලධාරීන් ගැන, රට ගැන බොරු කියලා මේ රට පාවලා දෙන්න හදන එක වහාම නවත්වන්න ඔන." මරණ තර්ජන සහිත එම ලිපි දෙකේ සදහන්ව ඇත.
'අඩි හයක් යටට යවන' බවට මරණ තර්ජන සහිත එම ලිපි දෙක අගෝස්තු 5 වැනිදා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කාර්යාලය වෙත ලැබීමෙන් පසු එම සංවිධානය එම මොහොතේම දුරකතන මාර්ගයෙන් පොලීස්පතිවරයාට ටෙල්. අයි.ජී.පී සේවයට දැනුම් දී ඇති අතර අගෝස්තු 6 වැනිදා බොරැල්ල පොලීසියටත් පැමිණිලි කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සමග බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් කොමිසමටත් දැනුම් දීමක් කළ බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.
"මේවා සුළු කොට තකන්න බෑ"
මෙම මරණ තර්ජන සුළු කොට තැකිය නොහැකි බව පවසන ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් සොයා බැලීම ආණ්ඩුවේ වගකීම බවයි.
"මොකද මේක සුළු කොට තකන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ රටේ මෙවැනි ක්‍රියාවන් ආරම්භ උනේ විවිධ රජයන් යටතේ මේ ආකාරයට තමයි."
මියගිය සිරකරුවන්ගේ නිවෙස් වෙත ගොස් එම තොරතුරු සොයා බැලීම් සිදු කරන මාධ්‍යවේදීන්ට පවා විවිධාකාර තර්ජනයන් එල්ල වන බව පැහැදිලිව පෙනෙන්නට ඇති බවත් ජෝසප් ස්ටාලින් එහිදී සදහන් කළේය.
සිරකරුවන්ගේ අදහස රටට හෙලි කරන මෙවැනි සංවිධාන මර්දනය කිරීම මගින් සිරකරුවන්ගේ හඩත් යටපත් කිරීමක් සිදු වන බව අවධාරණය කරන ගුරු සංගම් නායකයා මාධ්‍ය හමුවේදී රජයට දැඩි ලෙස කියා සිටියේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නියෝජිතයන් දෙදෙනාට එලල් කර තිබෙන මරණ තර්ජනය සම්බන්ධයෙන් වහාම සොයා බැලීමක් සිදු කරන ලෙසයි.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ්‍රී ලංකාව තුළ හුදකලා සංවිධානයක් නොවන අවධාරණය කරන ගුරු සංගම් නායකයා ඔවුන් ගන්නා ඔනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහාය පළ කරන බවත් මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
"මෙවැනි තර්ජන අපි පැහැදිලිව හෙළා දකිනවා වගේම මෙයට එරෙහිව ගන්නා ඔනෑම ක්‍රියාමාර්ගයකට පෙනී සිටින්න අපි සුදානම් කියන කාරනාව කියන්න කැමතියි."





