ව්‍යාජ ගිණුම්, රහසිගත වීඩියෝ පටිගත කිරීම් සහ ඥාතීන් හරහා සිදුකරන බලපෑම් පිළිබඳව වාර්තා වූ පැමිණිලි රැසක්
සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වන ඩිජිටල් කප්පම් ජාවාරම
සමාජ මාධ්‍ය ජාලයන් වන ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් මැසෙන්ජර්, වට්ස්ඇප් සහ ටෙලිග්‍රෑම් හරහා පුද්ගලයන් රවටා ගනිමින් නිරුවත් ඡායාරූප සහ වීඩියෝ ලබාගෙන, ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් මුදල් ගැරීමේ ජාවාරමක් (Sextortion) යළිත් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) නිවේදනය කර ඇත. මූලික නිරීක්ෂණයන්ට අනුව ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙම ජාවාරම මෙහෙයවනු ලබන බවට හඳුනාගෙන තිබේ.
මෙම වංචනික ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත පැමිණිලි රාශියක් ලැබී ඇති අතර, මේ පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව එම සංසදය පෙන්වා දෙයි.
ඩිජිටල් කප්පම් ජාවාරමේ ප්‍රධාන පියවරයන් (Sextortion Workflow)
| පළමු පියවර: ඉන්ස්ටග්‍රෑම්/ෆේස්බුක් හරහා ඉලක්කගත පුද්ගලයාගේ ඥාතීන් මිතුරු ලැයිස්තුවට එක්කර ගැනීම
| දෙවන පියවර: ව්‍යාජ ගිණුමකින් "හායි" ලෙස කෙටි පණිවුඩ යවා පෞද්ගලික සංවාදයකට යොමුකර ගැනීම
| තෙවන පියවර: වට්ස්ඇප් වීඩියෝ ඇමතුම් හරහා නොමනා ලෙස හැසිරීමට පොළඹවා තාක්ෂණිකව පටිගත කිරීම
| සිව්වන පියවර: රහසිගත දර්ශන සහ සංවාද පිටපත් පවුලේ අයට යවන බවට තර්ජනය කර මුදල් අත්පත් කරගැනීම
වංචාකරුවන් ක්‍රියාත්මක වන උපායමාර්ගික ක්‍රමවේදය
මෑතකදී වාර්තා වූ සිදුවීම් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ ජාවාරම්කරුවන් ප්‍රථමයෙන් ඉන්ස්ටග්‍රෑම් මගින් ඉලක්කගත පුද්ගලයන් හඳුනාගන්නා බවයි. අදාළ පුද්ගලයා සමඟ කෙළින්ම සම්බන්ධ වීමට පෙර, ඔහුගේ හෝ ඇයගේ සහෝදර සහෝදරියන්, ඥාතීන් සහ සමීප මිතුරන් තමන්ගේ සමාජ මාධ්‍ය මිතුරු ලැයිස්තුවට එක්කර ගැනීමට මොවුන් උපක්‍රමශීලීව කටයුතු කරයි.
ඉන් අනතුරුව, ආකර්ෂණීය ඡායාරූප සහිත ව්‍යාජ ගිණුම් (Fake profiles) භාවිත කරමින් "හායි" වැනි සුළු කෙටි පණිවුඩයකින් සංවාද ආරම්භ කරයි. මුල් අවස්ථාවේදී ප්‍රතිචාර නොදක්වන පුද්ගලයන් වෙත දින කිහිපයකට පසුව යළිත් පණිවුඩ යොමු කරමින් විශ්වාසය ගොඩනගා ගැනීමට කටයුතු කරන බවත්, පසුව පෞද්ගලික සංවාදයන් වෙත යොමු කරමින් ලිංගික ස්වභාවයේ පණිවුඩ හුවමාරු කරගැනීමට පොළඹවන බවත් අනාවරණය වී තිබේ.
වීඩියෝ ඇමතුම් පටිගත කිරීම් සහ බ්ලැක්මේල් කිරීම්
සංවාදයන්හි මීළඟ අදියර ලෙස වින්දිතයන් වට්ස්ඇප් (WhatsApp) වීඩියෝ ඇමතුම් වෙත යොමුකර ගන්නා වංචාකරුවන්, කැමරාව ඉදිරියේ නොමනා ලෙස පෙනී සිටීමට ඔවුන් පොළඹවයි. එම අවස්ථාවන් රහසිගතව පටිගත කරගැනීමෙන් පසුව, අදාළ දර්ශන පවුලේ සාමාජිකයන් සහ මිතුරන් වෙත යවන බවට තර්ජනය කරමින් දැවැන්ත මුදල් ප්‍රමාණයක් ඉල්ලා සිටීම සිදුවේ.
ඇතැම් අවස්ථාවලදී වින්දිතයන් වීඩියෝ ඇමතුම් අතරතුර නිරුවත් වී නොසිටියද, ඔවුන් හුවමාරු කරගත් පෞද්ගලික කෙටි පණිවුඩවල පිටපත් (Screenshots) පදනම් කරගෙන ද තර්ජනය කිරීම් සිදුකරන බව වාර්තා වේ. නොදන්නා පාර්ශ්වයන්ගෙන් ලැබෙන වීඩියෝ ඇමතුම් ලබාගැනීමෙන් වැළකී සිටින ලෙසත්, පෞද්ගලික තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය හරහා අන් අයට ලබාදීමේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
සමාජ මාධ්‍ය මගින් සිදුවන ලිංගික කප්පම් ගැනීමකදී (Sextortion) වින්දිතයෙකු බවට පත් වූවහොත්, කලබල නොවී නීතිමය සහ තාක්ෂණික වශයෙන් වහාම ගත යුතු අත්‍යවශ්‍ය පියවර කිහිපයක් පහත දැක්වේ.
1. තාක්ෂණික සහ පූර්වාරක්ෂණ පියවර
මුදල් ගෙවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකෙන්න:
වංචාකරුවන් ඉල්ලන මුදල් කිසිසේත්ම නොගෙවන්න. මුදල් ගෙවූ පමණින් ඔවුන් දර්ශන මකා දමන්නේ නැති අතර, වැඩි වැඩියෙන් මුදල් ඉල්ලමින් තර්ජනය කිරීම තවත් වැඩි කරයි.
සාක්ෂි සුරක්ෂිත කරගන්න :
වංචාකාරයන් යැවූ සියලුම කෙටි පණිවුඩ, ජායාරූප, වීඩියෝ ඇමතුම් සටහන් සහ තර්ජනාත්මක පණිවුඩවල පිටපත් (Screenshots) ලබාගන්න.
ඔවුන් භාවිත කළ සමාජ මාධ්‍ය ගිණුම්වල සබැඳි (Profile URLs), දුරකථන අංක සහ මුදල් ඉල්ලූ බැංකු/ක්‍රිප්ටෝ/ඊ-වොලට් තොරතුරු වෙනම සටහන් කරගන්න.
සංවාද නතර කර ගිණුම් අවහිර (Block) කරන්න:
අදාළ වංචනික ගිණුම සමඟ තවදුරටත් සංවාද පැවැත්වීමෙන් වහාම වළකින්න. අදාළ සාක්ෂි ලබාගැනීමෙන් පසු එකී ගිණුම අදාළ සමාජ මාධ්‍ය ජාලය තුළ Report කර Block කරන්න.
සමාජ මාධ්‍ය ගිණුම්වල ආරක්ෂාව තර කරන්න:
ඔබේ සියලුම සමාජ මාධ්‍ය ගිණුම්වල Privacy Settings 'Private' මට්ටමට සකසන්න.
ද්වි-සාධක සත්‍යාපනය (Two-Factor Authentication - 2FA) සක්‍රීය කරන්න.
මිතුරු ලැයිස්තු (Friend list) සහ පෞද්ගලික තොරතුරු අන් අයට නොපෙනෙන සේ සඟවන්න (Only Me / Friends Only).
2. නීතිමය සහ නිල පැමිණිලි යොමු කිරීම
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT):
තාක්ෂණික සහාය සහ උපදෙස් ලබාගැනීමට වහාම SLCERT ආයතනය අමතන්න.
දුරකථන අංකය: 101 හෝ +94 11 269 1694
විද්‍යුත් තැපෑල: report@cert.gov.lk
පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය (CCID):
2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිමය පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කරන්න.
දුරකථන අංකය: +94 11 232 0145 / +94 11 242 1111
ළමා හා කාන්තා කාර්යාංශය (National Child Protection Authority / Police HQ):
වින්දිතයා බාලවයස්කාර අයෙකු නම් හෝ කාන්තාවක නම්, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට හෝ 1929 (ළමා අරක්ෂක අධිකාරිය) අංකයට වහාම දැනුම් දිය හැකිය.
3. අන්තර්ජාලයෙන් දර්ශන ඉවත් කරගැනීම (Content Removal)
Take It Down (NCMEC):
වින්දිතයා වයස අවුරුදු 18ට අඩු අයෙකු නම්, National Center for Missing & Exploited Children මගින් මෙහෙයවන takeitdown.ncmec.org වෙබ් අඩවිය හරහා අදාළ ඡායාරූප/වීඩියෝ අන්තර්ජාලයට එක්වීම වළක්වා ගැනීමට digital fingerprint (hash) එකක් සාදා ආරක්ෂා විය හැක.
StopNCII.org:
වින්දිතයා වයස අවුරුදු 18ට වැඩි අයෙකු නම්, Meta (Facebook, Instagram) ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය සමාගම් සමඟ එකතුව ක්‍රියාත්මක වන StopNCII.org ප්ලැට්ෆෝම් එක හරහා තමන්ගේ කැමැත්තෙන් තොරව පළවූ ලිංගික දර්ශන ඉවත් කිරීමට හෝ පළවීම වැළැක්වීමට නොමිලේ සහාය ලබාගත හැක.




