නීතිඥයන් කනගාටුව පළ කිරීමෙන් පසු පිටු 17ක නියෝගයක් නිකුත් කරමින් විදේශ ගමන් තහනමක් සහ ලක්ෂ 20 බැගින් ශරීර ඇප
අත්අඩංගුවට ගැනීම සහ ඉදිරිපත් කළ B වාර්තාව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය (CCIB) වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී අගෝස්තු 10 වන දින පෙරවරු 10.45ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී. වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 03 වන දින මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයක් මගින් මරණ තර්ජනයක් සහ රාජකාරියට බාධාවක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අනතුරුව පස්වරු 3.30ට පමණ කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස හමුවට සැකකරු ඉදිරිපත් කළ CCIB නිලධාරීන් B වාර්තාවක් මගින් කරුණු දක්වමින්, දණ්ඩ නීති සංග්‍රහයේ 102, 108, 113, 114, 120, 186 සහ 486 යන වගන්ති යටතේ චෝදනා ගොනු කරන බව දැනුම් දුන්නේය.
සාගර කාරියවසම් මහතාට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග සහ නියෝග
| අත්අඩංගුවට ගත් වෙලාව සහ ස්ථානය: අගෝස්තු 10 පෙ.ව. 10.45 - මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය (CCIB)
| අදාළ ප්‍රකාශය: පොලිස්පතිවරයා ආණ්ඩුවට සේවය නොකර ජනතාවට සේවය කළ යුතු බවට කළ ප්‍රකාශය
| පොලිසියේ ඉල්ලීම: විමර්ශන අඩාල වන බැවින් අගෝස්තු 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම
| අධිකරණ තීන්දුව: පිටු 17ක නියෝගයක් මගින් රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීම
| අමතර කොන්දේසි: විදේශ ගමන් තහනම් කිරීම සහ විමර්ශන ප්‍රගතිය සැප්තැම්බර් 24 දින නැවත අධිකරණයට ඉදිරිපත් කිරීම
අධිකරණයේ ප්‍රශ්න කිරීම් සහ විත්ති පාර්ශ්වයේ තර්ක
නඩුව සලකා බැලූ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිසිය ගොනු කළ වගන්තිවල ස්වාධීන පැවැත්ම සහ අදාළත්වය පිළිබඳව ප්‍රශ්න කළේය. අනුබල දීම, තැත් කිරීම, රාජ්‍යයට එරෙහිව විරුද්ධත්වය ඇවිස්සීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා B වාර්තාව මගින් පැහැදිලි ලෙස ගම්‍ය නොවන බව මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සඳහන් කළේ, අදාළ ප්‍රකාශය මගින් කිසිදු ආකාරයකින් පොලිස්පතිවරයාට මරණ තර්ජනයක් සිදු කර නොමැති බවත්, ආණ්ඩුවට සේවය නොකර ජනතාවට සේවය නොකළහොත් අතීතයේ ඇතැම් පොලිස්පතිවරුන්ට අත්වූ ඛේදනීය ඉරණම අත්විය හැකි බව පැවසීමෙන් අදහස් කළේ එවැනි දෙයක් සිදුවනවාට තමන් අකමැති බව බවත්ය.
එහෙත් මෙහිදී අදහස් දැක්වූ මහෙස්ත්‍රාත්වරයා, දේශපාලන නායකයෙකු සහ නීතිඥවරයෙකු ලෙස ශිෂ්ට සම්පන්න සමාජයක් තුළ භාෂාව භාවිත කිරීමේදී දැඩි සැලකිලිමත් බවක් දැක්විය යුතු බවත්, ප්‍රසිද්ධ මාධ්‍ය හැසිරීම මගින් තවත් අයෙකුට තර්ජනාත්මක හැඟීමක් ඇතිවීම වැළැක්විය යුතු බවත් අවධාරණය කළේය.
කනගාටුව පළ කිරීම සහ ඇප නියෝගය
සිද්ධියට අදාළව නීතිඥ මණ්ඩලය හරහා සැකකාර සාගර කාරියවසම් වෙනුවෙන් අදාළ ප්‍රකාශය පිළිබඳව පොලිස්පතිවරයා වෙත කනගාටුව පළ කිරීමට විත්ති පාර්ශ්වය කටයුතු කළේය.
අනතුරුව පස්වරු 5.30ට පිටු 17කින් යුත් නියෝගය ප්‍රකාශයට පත් කළ කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස , සැකකරු රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය. එමෙන්ම සැකකරුට විදේශ ගමන් තහනමක් පැනවූ අතර, ඒ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට ද නියෝග කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන වැඩිදුර විමර්ශනවල ප්‍රගතිය සැප්තැම්බර් 24 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට නියෝග විය.




