යෝජිත ප්‍රතිපාදනවලට එරෙහිව ලබන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි
බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා හමුවීම සහ විපක්ෂයේ රාජ්‍යතාන්ත්‍රික දැනුවත් කිරීම
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන නියෝජිත පිරිසක් අද (12) පෙරවරුවේ කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrick) හමුවී සාකච්ඡාවක නිරත වූහ.
රට තුළ වර්තමානයේ සිදුවන ව්‍යවස්ථාපිත සහ නීතිමය සංශෝධන ක්‍රියාවලීන්, අධිකරණ ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය සහ රාජ්‍ය සේවා ව්‍යුහයන් සම්බන්ධයෙන් මතුව ඇති නීතිමය සංවාද පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර, හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා, සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ නිර්මාතෘ නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.
ඒකාබද්ධ විපක්ෂය සහ විද්වත් පාර්ශ්වයන් ඉදිරිපත් කරන ප්‍රධාන නීතිමය කරුණු
| පාර්ශ්වකරුවන්ගේ මගහැරීම්: මහා නායක හිමිවරුන්ගේ ලිපිය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) කරුණු නොසලකා හැරීම
| ව්‍යවස්ථාපිත ගැටලු: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය (සමානත්මතාවය) යටතේ අනෙකුත් රාජ්‍ය සේවකයන්ගෙන් එල්ලවන ඉල්ලීම්
| නීතිමය පියවර: යෝජිත කෙටුම්පතේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ලබන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යොමුකිරීම
| ප්‍රමුඛතා පිළිබඳ සංවාදය: නඩු ප්‍රමාදය විසඳීමට වඩා කෘෂිකාර්මික, සෞඛ්‍ය සහ බන්ධනාගාර අර්බුද කෙරෙහි අවධානය යොමුකිරීමේ අවශ්‍යතාව
නීතිඥ සංගමය, මහා නායක හිමිවරුන් සහ විෂයභාර අමාත්‍යවරයාගේ ප්‍රකාශ
මහකොමසාරිස්වරයා සමඟ පැවැති හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ, ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක පනතක් හෝ සම්මතයක් ගෙන ඒමේදී නීතිඥ සංගමය, විශ්වවිද්‍යාල සහ සිවිල් සංවිධාන සමඟ පුළුල් සංවාදයක් පැවැත්විය යුතු බවයි.
මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා පවා දැනුවත්ව නොසිටීම හරහා ආයතනික සන්නිවේදනයේ පවතින ගැටලුකාරී තත්ත්වය පෙනී යන බව ඔහු පැවසීය.
එමෙන්ම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සමඟ ජනාධිපතිවරයා සාකච්ඡාවකට අවස්ථාව ලබා දී ඇත්තේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර, අමාත්‍ය මණ්ඩල තීරණ ගැනීමෙන් පසුව බැවින්, එම සාකච්ඡාවලින් ප්‍රායෝගික ඵලදායීතාවයක් අත්නොවන බව ද විපක්ෂ නායකත්වයේ මතය වී තිබේ.
යෝජිත ක්‍රියාමාර්ග මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින නඩු ප්‍රමාදයන්ට විසඳුම් නොලැබෙන බවත්, මුළු නඩු සංඛ්‍යාවෙන් 1%ක් තරම් වූ ඉහළ අධිකරණ නඩුවලට වඩා සමස්ත අධිකරණ පද්ධතියේ ව්‍යුහයට මින් බලපෑම් සිදුවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ තීරණය
යෝජිත සංශෝධන මගින් රාජ්‍ය අංශය තුළ සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වන බව පෙන්වා දෙන මහාචාර්ය පීරිස්, පොලිස් නිලධාරීන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ අවධානයත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙදියන්ගේ සංගම් සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ද එම වරප්‍රසාදය ඉල්ලා සිටින බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය යටතේ තහවුරු කර ඇති 'නීතිය ඉදිරියේ සියල්ලන් සමාන වීම' නැමැති මූලික අයිතිවාසිකම පදනම් කරගනිමින් රාජ්‍ය සේවයේ අනෙකුත් ක්ෂේත්‍රයන්ගෙන් ද මෙවැනි ඉල්ලීම් මතුවීම වැළැක්විය නොහැකි බව විපක්ෂය තර්ක කරයි.
මේ වන විට ගොවිජනතාව මුහුණදෙන නිෂ්පාදන පිරිවැය අර්බුදය, රෝහල් පද්ධතියේ ඖෂධ හිඟය සහ බන්ධනාගාර තුළ ඇතිවී තිබෙන තත්ත්වයන් වැනි ප්‍රමුඛ මහජන ගැටලු පවතිද්දී, මෙම සංශෝධනයන් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම පිළිබඳව ප්‍රශ්න කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.
ඒ අනුව, යෝජිත නීතිමය ප්‍රතිපාදන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න පිළිබඳව නීතිමය නිරීක්ෂණය ලබාගැනීම සඳහා ලබන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට විපක්ෂය තීරණය කර ඇත.




