දශක හතරක ජනපදකරණ හා සරණාගත පීඩනය හමුවේ වත්මන් තක්සේරු වටිනාකම් ලබාදෙන ලෙස ජනතාවගෙන් දැඩි බලපෑම්
උතුරේ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් පුළුල් කිරීමට දශක හතරකට ඉහතදී පවරා ගත් දෙමළ ජනතාවගේ පෞද්ගලික ඉඩම් වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදල කොතෙක්දැයි නොදන්වාම එම ඉඩම් රජය සතු කිරීම සඳහා ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට වත්මන් ආණ්ඩුව දැරූ උත්සාහයක් අසාර්ථක වී තිබේ.
පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සදහා 1986 වසරේ දී රජය විසින් ඉඩම් අක්කර සිය ගණනක් පවරා ගනිමින් නිකුත් කළ ගැසට් පත්‍රයක් හේතුවෙන් අද දක්වාම ඉඩමක් නොමැතිව මාතෘ භුමිය තුළම සරණාගතයන් බවට පත්ව සිටින එම දෙමළ ජනතාව ආණ්ඩුවට දැඩි ලෙස අවධාරණය කර ඇත්තේ සිය ඉඩම් පවරා ගැනීම වෙනුවෙන් රජය තීරණය කරන වන්දියක් ලබා ගැනීමට සුදානම් බව සටහන් කරමින් රජය විසින් අත්තනෝමතික ලෙස සකස් කර ඇති දිවුරුම් ප්‍රකාශයට තමන් කිසිසේත්ම අත්සන් නොතබන බවයි.
වන්දි තීරණය කළ යුත්තේ වින්දිත පවුල්වල නියෝජිතයන්ද හවුල් කරගැනීමෙන් පමණක් බව ඉඩම් හිමියන් බලධාරීන්ට ඒත්තු ගන්නන්නට වීරිය කර තිබේ.

පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සදහා දෙමළ ජනතාවට අයත් පෞද්ගලික ඉඩම් අක්කර 660 ක් (හෙක්ටයාර් 267.22 ක්) පවරා ගනිමින් පැවැති රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත්තේ1986 නොවැම්බර් මාසයේදී ය.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ප්‍රදේශයේ යුද ගැටුම් පැවැති සමයේ එම ඉඩම් වල හිමිකරුවන් එම භුමියෙන් ඉවත්ව ගොස් සිය ඥාතීන්ගේ හෝ කුලී නිවාස වල ජීවත් වු නමුත් සිය ඉඩම් නිදහස් කරන ලෙස රජයට බල කරමින් දිගින් දිගටම විරෝධතා දියත් කළ බවයි.
එම අරගලයට රජයේ ප්‍රතිචාරය වී ඇත්තේ අක්කර 660 ට හිමිකම් කියන ජනතාවට වන්දි ලබා දෙන බව පවසමින් වලිකාමම් උතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් යුද නිමාවෙන් පසුව වැඩ සටහනක් ආරම්භ කිරීමයි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ගුවන් තොටුපල සඳහා ඉඩම් පවරා ගනිමින් රජය නිකුත් කළ ගැසට් පත්‍රය හේතුවෙන් ඉඩම් අහිමි වු පුද්ගලයන් 538 දෙනෙක් සිය ඉඩමේ අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය නිල ලේඛන වලිකාමම් උතුර ප්‍රදේශිය ලේකම් කාර්යාලය වෙත බාර දී ඇති බවයි. ඒ අතුරින් පුද්ගලයන් 445 දෙනකු සිය ඉඩම වෙනුවෙන් වන්දි මුදල් ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇති අතර ඉතිරි 48 දෙනා ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් මේ වන තෙක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට දැනුම් දී නැත. පලාලි ගුවන් තොටුපල සඳහා 1986 වසරේ දී රජය විසින් පවරා ගත් සිය භුමියම ආපසු අවශ්‍ය බව තවත් පුද්ගලයන් 45 දෙනෙක් දැඩිව කියා සිටිති.

සිය ඉඩමේ අයිතිය තහවුරු කිරීමට නිල ලේඛනයක් නොමැති තවත් පුද්ගලයන් 105 දෙනකුගේ නම් ද වන්දි ලබා දීමට නියමිත ලේඛනයේ සදහන්ව තිබේ.
පළාත් බද වාර්තාකරුවන් තව දුරටත් පවසන්නේ 1986 වසරේ දී රජය විසින් ගුවන් තොටුපල පුළුල් කිරීමට ඉඩම් පවරා ගැනීමෙන් ඉඩම් අහිමි වු එම ජනතාවට වන්දි මුදල් ලබා දීමට අදාලව දිස්ත්‍රික් ලේකම් මර්දලිංගම් ප්‍රදීපන්ගේ ප්‍රධානත්වයෙන් වලිකාමම් උතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අගෝස්තු මුල් සතියේ පැවැති විශේෂ සාකච්ඡාව සදහා මෙම සියළුම කාණ්ඩවලට අයත් ඉඩම් අහිමි වු දෙමළ ජනතාව සහභාගී වී සිටි බවයි.
සාකච්ඡාවේ අරමුණ පැහැදිලි කරමින් යාපනය දිස්ත්‍රික් ලේකම් මර්දලිංගම් ප්‍රදීපන් සිදු කළ කතාව මගින්ද රජය පවරා ගත් පුද්ගලික ඉඩම් ප්‍රමාණය අක්කර 660 ක් බව තහවුරු වේ.
“පලාලි ගුවන්තොටුපළ පුළුල් කිරීමට ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් උතුර මයිලිට්ටි, දකුණු මෛලන්, නැගෙනහිර පලාලි, කුරුම්බසිට්ටි යන ග්‍රාමසේවා වසම්වල 1986 අවුරුද්දේ හෙක්ටයාර් 267.22ක ඉඩම් පලාලි ගුවන්තොටුපළ විශාල කරන්න අත්පත් කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ආසන්න වශයෙන් අක්කර 660ක්.”
සාකච්ඡාවේ අරමුණ පැහැදිලි කිරීමෙන් අනතුරුව එම ඉඩම් වෙනුවෙන් වන්දි ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරමින් බලධාරීන් විසින් කල්තියා සකස් කරන ලද දිවුරුම් ප්‍රකාශයකට ඉඩම් අහිමි වුවන්ගේ අත්සන් ලබා ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරයා උත්සාහ කළ අවස්ථාවේ දී එම දිවුරුම් ප්‍රකාශයේ ඇතුලත් කරුණු කිහිපයක් කෙරෙහි මහජන විරෝධය පළ වීමත් සමග උණුසුම් තත්වයක් හටගෙන තිබේ.
එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා එම ජනතාවගෙන් පෙරලා ප්‍රශ්න කර ඇත්තේ ‘තීරණය කළ වන්දිය ලබාගැනීමට මගේ කැමැත්ත පළ කරමි’ යනුවෙන් එම දිවුරුම් ප්‍රකාශයේ සදහන්ව තිබීම ඉඩම් අහිමි වුවන්ට එම ප්‍රකාශයට අත්සන් තැබීමට ප්‍රශ්නයක්ද යන්නයි.
එහිදී ඉඩම් අහිමි වු ජනතාව පවසා ඇත්තේ එම දිවුරුම් ප්‍රකාශයේ සදහන් සිව් වැනි කරුණ ගැටළුකාරී බවයි.
“ඉඩම සඳහා වන්දිය ගෙවීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම දැනගැනීමෙන් අනතුරුව අත්සන් කිරීමට මම එකඟ වෙමි,” යන්න සිව්වැනි කරුණයි.
එහි සඳහන් වන්නේ ඉඩම සඳහා වන්දි ගෙවීම සම්බන්ධයෙන් විනා වන්දි මුදල පිළිබඳව නොවන බව තහවුරු කර ඇති දිස්ත්‍රික් ලේකම් “ඒකට යටින් ඔයාලාගේ අදහස් තිබුණොත් ලියන්න පුළුවන්. මේකේ අපි ගාණ ගැන මොකුත් කියන්නේ නැහැ,” යි පවසා තිබේ.

එහිදී ඉඩම් අහිමිව සිටින ජනතාව දිස්ත්‍රික් ලේකම්වරයාට දැඩිව අවධාරණය කර ඇත්තේ වන්දි මුදල් තක්සේරු කිරීමට සහභාගී වීම වෙනුවෙන් පමණක් තමන්ට කැමැත්ත ප්‍රකාශ කළ හැකි අතර එම දිවුරුම් ප්‍රකාශයේ ඇතුලත් 4 වැනි වගන්තිය සම්පුර්ණයෙන්ම ඉවත් කරන ලෙසයි.
“මොකුත් එපා සර්. මේකේ තියෙන, හතරවෙනි කෑල්ල අයින් කරලා ප්‍රින්ට් කරලා දෙන්න. අපි අත්සන් කරලා දෙන්නම් එතකොට වැඩේ ඉවරයිනේ සර්. කිසිම අවුලක් නැහැ. වන්දි මුදල් ප්‍රමාණය තක්සේරු කරන්න විතරක් අපි කැමැති වෙන්නම්.”
එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා ඉඩම් අහිමි වී සිටින ජනතාවගෙන් නැවත ඉල්ලා ඇත්තේ එම දිවුරුම් ප්‍රකාශයේ මතබේදයට තුඩු දී ඇති වගන්තිය කපා දමා එම ලේඛනයට අත්සන් තබන ලෙසයි.
තමන්ගේ දායකත්වයෙන් තොරව සකස් කළ දිවුරුම් ප්‍රකාශයකට අත්සන් තැබීම ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.
පලාලි ගුවන් තොටුපලට පවරා ගැනීම නිසා සිය ඉඩම අහිමි වු අයෙක් එහිදි දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ 1986 වසරේදී රජය අත්පත්කරගත් ඉඩම් සදහා වර්තමාන වටිනාකම ගණනය කර එය දිවුරුම් ප්‍රකාශයට ඇතුලත් කරන ලෙසයි. එවැනි තක්සේරු වටිනාකමක් සඳහන් නොකළ දිවුරුම් ප්‍රකාශයකට අත්සන් තැබීමට ජනතාව සුදානම් නොමැති බව ඔහු වැඩි දුරටත් අවධාරණය කර තිබේ.
“අද වටිනාකම දාන්න කියලයි අපි කියන්නේ. 2022 අවුරුද්දේ දෙන ගාණ දාන්න. ඒක ජනතාව පිළිගන්න ඕනේ. ඒක ජනතාව භාර ගත්තොත් තමයි ඉතුරු වැඩ ටික කරන්න පුළුවන් වෙන්නේ.”
සාකච්ඡාවට සහභාගී වූ තවත් අයෙක් දිස්ත්‍රික් ලේකම්වරයාට දැඩිව අවධාරණය කර තිබුනේ සිය ඉඩම් රජයට පවරා ගැනීමට ජනතාවගේ කැමැත්ත ලිඛිතව ලබා ගැනීමට පෙර එම ඉඩම් සදහා රජය තක්සේරු කරන වටිනාමක පළමුව ජනතාවට දැනුම් දෙන ලෙසයි.
“අවුරුදු 40ක් තිස්සේ රස්‍තියාදු වෙලා අපිට බැරිම තැන තමයි අපි දෙන්නම් ඔයාලා මොනවා ද දෙන්නේ කියලා ඇහුවේ. අදත් ඔයාලා අපිට එන්න කියලා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව වටිනාකම තක්සේරු කරයි කියලා කියනවා, ඔයාලා ඉස්සරලා තක්සේරු කරන්න. ඔයා එන්න මම මගේ ඉඩම් පෙන්වන්නම්. මගේ ඉඩම එතන තියෙනවා, තාර පාරේ ඉඳන් අත දික් කළොත් මගේ ඉඩම... ඔයාට අරකටත් එක මිල, මේකටත් එකම මිල, ඉඩම්, ගෙවල්, ගොඩනැගිලි, ළිඳ, ඔයා දෙන සල්ලි වලින් ළිඳක් හාරන්න පුලුවන්ද? ඔයාලා දැන් කියනවා affidavit දෙනවා අත්සන් කරන්න කියලා, පැවරීමේ ලියවිල්ල කියන්නේ, මගේ කැමැත්තට ලියලා අත්සන් කරන එක. ඔයාලා කැමැත්තට ලියපු එකට අත්සන් කරන්න කියන්නේ නිකම් ඉස්කෝලේදී වගෙයි.”
පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ලබා දුන් දිවුරුම් ප්‍රකාශ වලට අත්සන් තැබීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ඉඩම් අහිමි වු සියළු දෙනා එම සාකච්ඡාවෙන් නැගිට ගිය බවයි.

ඉඩම් අහිමි වු කාන්තාවක් පිටතට පැමිණ පළාත් බද මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ ගුවන් තොටුපල සංවර්ධනය සදහා බව පවසමින් රජය විසින් අත්පත්කරගත් දෙමළ ජනයාගේ ඉඩම් තුළ ආරක්ෂක අංශ යොදවා ගොවිතැන් කටයුතු කරනවා විනා එය ගුවන් තොටුපල සංවර්ධනය සදහා භාවිතයට ගන්නා ආකාරයක් පෙනෙන්නට නැති බවයි.
“අපි මේ ඉඩම් වෙනුවෙන් අදටත් රස්තියාදු වෙමින් ඉන්නවා. ඒත් අද අපේ ඉඩම් අල්ලගෙන රුපියල් 60,000ක පඩියක් දීලා ගොවිතැන් කරනවා. ඔයාලා ආදායමක් ගන්නවා මිස ආරක්ෂක කලාපයක් දාන්නෙවත්, ගුවන්තොටුපළේ වැඩ කරන්නේවත් නැහැ. දෙමළ අයගේ දේපළ අල්ලාගෙන ආදායම් එකතු කරගෙන ඉන්නවා. අවුරුදු කීයක් තිස්සේ මේ ඉඩම් දෙන්නම් කිව්වා ද? අවුරුදු කීයක් තිස්සේ මේ මිනිසුන්ව රවට්ටනවා ද? අවුරුද්දක් දෙකක් නෙවෙයි අපේ ඉඩම්වලින් ඇවිත් අවුරුදු 34ක් 35ක් වුණා.”
“අපිව හතර පස් සැරයක් එන්න කියලා රස්තියාදු කරන්නේ නැතිව වන්දි විදිහට කීයක් දෙනවා ද, කොච්චර කාලයකින් දෙනවා ද, කියලයි අහන්නේ. ඒත් ඒකට හරි උත්තරයක් මේ අය ළඟ නැහැ,” යි දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවෙන් පිටපත පැමිණි තවත් ඉඩම් අහිමි වුවකු පළාත් බද මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබුනි.




