පාපොච්චාරණ 10ක්, නඩු භාණ්ඩ 2,076ක් ලකුණු කෙරේ: ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ ආරක්ෂාවත් දැඩි කෙරෙයි
පැමිණිල්ලේ සාක්ෂි අවසන් වීම සහ විත්තිවාචික කැඳවීම
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව අධි චෝදනා 23,270ක් යටතේ පැවැත්වෙන ප්‍රධාන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීමේ කටයුතු අවසන් වූ බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දී තිබේ.
මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ විභාග වන මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකුගේ සාක්ෂි ඉදිරිපත් කෙරිණි.
පැමිණිල්ලේ සාක්ෂි විමසීම නිම වීමත් සමඟ විත්තිවාචික කැඳවීම පිළිබඳ තීරණය දැනුම් දීම සහ ඉදිරි නෛතික පියවරයන් උදෙසා ලබන 17 වනදා නඩුව නැවත කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කළේය.
එහිදී චූදිතයන් වෙනුවෙන් පවතින ව්‍යවස්ථාපිත අයිතිවාසිකම්, එනම් දිවුරුම් පිට සාක්ෂි දීම, විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීම හෝ නිහඬව සිටීමේ අයිතිය පිළිබඳව දෙමළ භාෂා පරිවර්තකවරයා මාර්ගයෙන් විත්තිකරුවන්ට කරුණු පැහැදිලි කර දෙන ලදී.
පාස්කු මහ නඩුවේ ප්‍රධාන විමර්ශන හා නඩු දත්ත
| චෝදනා සංඛ්‍යාව: අධි චෝදනා 23,270ක්
| විත්තිකරුවන්: නවුෆර් මවුලවි ඇතුළු 24 දෙනෙක් (ආරම්භයේ 25ක් වූ අතර එක් අයෙකු 2021දී මියගොස් ඇත)
| සාක්ෂි සහ නඩු භාණ්ඩ: පිළිගත් පාපොච්චාරණ 10ක්, ලකුණු කළ නඩු භාණ්ඩ 2,076ක්, සාක්ෂිකරුවන් 2,309ක්
| නඩු විභාග කාලය: වසර 5කට ආසන්න කාලයක් තුළ දින 547ක් පුරා දිනපතා විභාග කිරීම
| විශේෂ සාක්ෂි: සහරාන්ගේ කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටීම
නඩු භාණ්ඩ, පාපොච්චාරණ සහ විශේෂ සාක්ෂි
වසර පහකට ආසන්න කාලයක් පුරා පැවැති සාක්ෂි විමසීමේදී පැමිණිල්ල විසින් ප්‍රබල සාක්ෂි සහ නඩු භාණ්ඩ රැසක් අධිකරණය හමුවේ ලකුණු කර ඇත.
විත්තිකරුවන් විසින් ලබාදී තිබූ පාපොච්චාරණයන් අතුරින් 10ක් ස්වේච්ඡාවෙන් ලබාදුන් ඒවා බවට සත්‍යතා පරීක්ෂණවලදී තහවුරු වීමෙන් අනතුරුව සාක්ෂි ලෙස පිළිගනු ලැබීය.
ඊට අමතරව, සඟවා තිබී සොයාගත් බෝම්බ, පුපුරන ද්‍රව්‍ය, කඩු, ගිනි අවි සහ රසායනික ද්‍රව්‍ය ඇතුළු නඩු භාණ්ඩ 2,076ක් ද, රජයේ රස පරීක්ෂක වාර්තා, ඩී.එන්.ඒ. වාර්තා, වෛද්‍ය වාර්තා සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා විශාල ප්‍රමාණයක් ද නඩුවට ඇතුළත් කෙරිණි.
මෙම නඩු විභාගයේදී ලැබුණු සුවිශේෂී සාක්ෂියක් වූයේ සහරාන් හෂීම්ගේ මරාගෙන මැරෙන කණ්ඩායමේ සිටි සාමාජිකයෙකු රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටිමින් ප්‍රහාරයේ සැලසුම් සහ කුමන්ත්‍රණය පිළිබඳව තීරණාත්මක තොරතුරු රැසක් හෙළිදරව් කිරීමයි.
විශේෂ නඩු විභාග ක්‍රමවේදය සහ ආරක්ෂාව
පාස්කු ප්‍රහාර මාලාවට අදාළව සමස්තයක් ලෙස නඩු 31ක් පවරා ඇති අතර, ඉන් 05ක් ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ විභාග විය.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර දෙදෙනාට එරෙහි නඩුව සහ මාවනැල්ල බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීමේ නඩුව ඇතුළු නඩු 03ක තීන්දු මේ වන විටත් ප්‍රකාශයට පත් කර අවසන්ය.
සාමාන්‍ය නෛතික ක්‍රියාපටිපාටිය යටතේ වසර ගණනාවක් ඇදී යාමට තිබූ මෙම ප්‍රධාන නඩුව, අලුත්කඩේ පැරණි මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පිහිටි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පරිශ්‍රයේදී දිනපතා රාත්‍රී 10.00 දක්වාත්, අධිකරණ වාර නිවාඩු කාලයන්හිදීත් විභාගයට ගැනීම නිසා කෙටි කාලයක් තුළ අවසන් අදියරට පැමිණීමට හැකි විය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර සහ අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥ කණ්ඩායමක් පැමිණිල්ල මෙහෙයවන ලදී.
මේ අතර, නඩුව තීරණාත්මක අදියරකට පැමිණීමත් සමඟ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි තර කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති අතර, ඒ සඳහා යොදවා ඇති පොලිස් යතුරුපැදි සංඛ්‍යාව ද ඉහළ නංවා ඇත.




