ගෘහස්ථ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු නීතිමය පියවර: සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහ පක්ෂවලින් ප්‍රතිචාර
නැගෙනහිර පළාතේ රෝහලකට නවක පත්වීම් ලැබු මුස්ලිම් නිලධාරිනියක් පිරිසක් ඇඳ සිටි ඇඳුම හේතු කරගනිමින් රාජකාරියට වාර්තා කිරීම රෝහල් බලධාරියා විසින් වැලැක්වීම අභියෝගයට ලක් කරමින් පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
කල්මුනේ උතුරු මුලික රෝහලට කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය සහයිකා තනතුර සඳහා පත්වීම් ලද මුස්ලිම් තරුණියන් 9 දෙනකු අගෝස්තු 06 වැනිදා රාජකාරි බාරගැනීම සදහා ගිය විට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රී සංකර් ඔවුන්ට සේවයට වාර්තා කිරීමේ ලේඛනයේ සටහන් තැබීමට ඉඩ ලබා දී නැත්තේ එම තරුණියන් ඇඳ සිටි ඇදුමින් සේවයට වාර්තා කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව පවසමිනි.
ඊට පසු දිනත් රාජකාරි වාර්තා කිරීම සදහා රෝහලට ගිය අවස්ථාවේදී එම මුස්ලිම් නිලධාරිනියන්ට එම ඉරණමටම මුහුණ දීමට සිදුව තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අගෝස්තු 11 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට දැනුම් දී තිබුනේ එම මුස්ලිම් නිලධාරිනියන් පිරිස සිය නිල ඇඳුමට උඩින් ඇද සිට ඇත්තේ ‘දිග කලිසමක්, අත් වැසෙන ඇඳුමක් සහ හිස වැසෙන පරිදි ස්කාෆ් එකක්’ බවයි.
රෝහල් බලධාරියා විසින් තමන්ට දිගින් දිගටම රාජකාරියට වාර්තා කිරීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් එම නිලධාරිනියන් අතරින් 5 දෙනෙකු අගෝස්තු 10 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිනිලි කර තිබේ. ඔවුන් වෙනුවෙන් ඉදිරිපත්ව සිටින නීතිඥ එම්. එම්. එම් මුගසම් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ එම නිලධාරිනියන්ට සේවයට වාර්තා කිරීමට ඉඩ ලබා නොදීමේ ගැටළුව රෝහල් බලධාරින් සමග සාකච්ඡා කර විසදා ගැනීමට දැරූ උත්සාහයද අසාර්ථක වු බවයි.
“රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රී ශංකර් සහ තවත් වෛද්‍ය අධිකාරිවරයෙක් වන වෛද්‍ය රජින්ද්‍රන් යහමුවෙලා මේ ගැන අපි කරුණු විමසීමක් කළා. වැඩිදුරටත් මේ කාරණාව රෝහල් පරිශ්‍රය ඇතුලෙම ගෘහස්ථ ක්‍රමවේදයක් යටතේ විසඳාගන්න පුළුවන් ද කියන එක ගැනත් අපි හොයලා බැලුවා. ඒත්, ඒ තරම් පහසු ක්‍රමවේදයන් නැහැ කියන එක අපිට මේ සාකච්ඡාවෙන් පස්සේ පැහැදිලි වුණා.”
නීතිඥ එම්. එම්. එම් මුගසම් අවධාරණය කරන්නේ එහිදී තමන් රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් 2019.06.26 වැනිදා රජයේ නිලධරයන්ගේ ඇඳුම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය රෝහල් බලධාරීන්ගේ අවධානයට යොමු කළ බවයි.
රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි විසින් 2019.06.26 වැනිදා රජයේ නිලධරයන්ගේ ඇඳුම මැයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත යොමු කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 13/2019(1) හි දක්වා ඇති පරිදි ‘රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන සුදුසු සංවරශිලි ඇඳුමකින් සැරසීමෙන්’ අනතුරුව ‘කිසියම් ආගමික චාරිත්‍රයකට අනුව තම ඇඳුම සකස් කරගෙන සිටින නිල ධරයන් වේ නම් ඔවුනට නිල ඇදුමින් සැරසීමෙන් අනතුරුව එකී ආගමික අනන්‍යතාවය තහවුරු වන ලෙස හා නිලධරයන්ට සම්පුර්ණ මුහුණ පැහැදිලිව (දෙකන් නොඇතුලත්ව) හදුනාගත හැකි වන ලෙස අතිරේක පැලඳුමක් භාවිතා කළ හැකි’ බවයි.
නීතිඥ රුඩානි සාහීර් සමග එක්ව අගෝස්තු 10 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අම්පාර ප්‍රාදේශිය කාර්යාලයට පැමිනිල්ල ඉදිරිපත් කිරීමට මුලිකත්වය ගත් නීතිඥ එම්. එම්. එම් මුගසම් වැඩි දුරටත් මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කර තුබුනේ කල්මුනේ උතුර මූලික රෝහලේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ රෝහල් විනය නිලධාරි රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් 2019 වසරේ නිකුත් කළ චක්‍රලේඛය උල්ලංඝනය කර ඇති බවයි.
“ඒ කියන්නේ, එයාලාගේ නිල ඇඳුමේ කිසිදු වෙනසක් හෝ අඩුවක් ඇති කරන්නේ නැහැ. සෞඛ්‍ය කාර්ය සහායකයින්ට අයත් නිල ඇඳුමෙන් එනවා. ඊට අමතරව ආවරණය කරන්න අවශ්‍ය සමහර දේවල් තියෙනවා. ඒ්කට අවශ්‍ය ඇඳුම්වල වෙනස්කම් කරන්න පුළුවන්. ඒක මේ චක්‍රලේඛයේ පැහැදිලිව තියෙනවා. ඒ නිසා මේ චක්‍රලේඛය පැහැදිලිව, කල්මුණෙයි උතුර මූලික රෝහලේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, රෝහල් විනය නිලධාරි වෛද්‍ය රජින්ද්‍රන් ඇතුළු පරිපාලන නිලධාරියා, සෞඛ්‍ය කාර්ය සහායකයින්ගේ අධීක්ෂණ නිලධාරි යන අය මේ චක්‍රලේඛය උල්ලංඝනය කරලා තියෙනවා.”
සෞඛ්‍ය කාර්ය සහායකයන්ට වෙනම චක්‍රලේඛයක් පවතින බවත්, ඇඳුම් සම්බන්ධ චක්‍රලේඛයක් පවතින බැවින් එයට අනිවාර්යයෙන්ම එකඟ විය යුතු බව රෝහල් බලධාරීන් නීතිඥයන් සමග පැවති සාකච්ඡාවේදී අවධාරණය කළ බව නීතිඥ මුගසම් පවසයි.
මුස්ලිම් තරුණියන් පිරිසට රෝහල් බලධාරීන් විසින් ඔවුන්ගේ ඇඳුම හේතු කරගෙන රාජකාරියට වාර්තා කිරීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් අගෝස්තු 11 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය මෙන්ම ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ද වන වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කර තිබුනි.
අමාත්‍යවරයා එදින පවසා තිබුනේ එම මොහොත වන තෙක්ම තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බවයි.
“තව අනූදාහක් විතර එළියේ ඉන්නවා. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගෙන රෝහල් සේවාව කඩාකප්පල් කරන්න එපා,” යි අමාත්‍යවරයා සමච්චල් සිනහවක් නගමින් අනතුරු අඟවා තිබුණි.
ප්‍රශ්නයක් පවතීනම් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිනිලි කරන ලෙසත් සෞඛ්‍ය සේවකයන්ගෙන් අමාත්‍යවරයා එහිදි ඉල්ලා තිබුනි.
ඉන් අනතුරුව, මුස්ලිම් නිලධාරිනියන් ඇඳුම නිසා මුහුණ දී සිටින ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් සිය පක්ෂය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට පැමිනිලි කළ බව සමාජ සාධාරණ පක්ෂයේ සභාපති, දෙහිවල ගස්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රී අර්කම් මුනීර් අගෝස්තු 12 වැනිදා අගනගරයේ මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.




