ඉන්දීය බොටම් ට්‍රෝලර් තර්ජනයට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් හොයන්න ආණ්ඩුවෙන් යළි ආරාධනාවක්: නාවික හමුදාවත් ශක්තිමත් කරන බවට ඇමතිගෙන් සහතිකයක්
ශ්‍රී ලංකා මුහුදු පතුල සූරාගෙන යන ඉන්දීය යාත්‍රා සම්බන්ධයෙන් දෙරට අතර දේශපාලන නායක මට්ටමේ සාකච්ඡා තවදුරටත් සිදු නොකර සිටීමේ ජාතික ජන බලවේග රජයේ ස්ථාවරය වෙනස් කර තිබේ.
ඒ බව ප්‍රකාශයට පත් කෙරුනේ ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙමින් ධීවර ගැටළු සම්බන්ධයෙන් දෙරටේ ඒකාබද්ධ යාන්ත්‍රණයක් යෝජනා කොට සතියක් ගතවීමෙන් අනතුරුවයි.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් 2026 අගෝස්තු 13 වැනිදා මන්නාරමේදී ධිවර සංගම් නායකයන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය ධිවරයන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් ට්‍රෝලර් යාත්‍රා මගින් සිදු කරන මසුන් මැරීම නතර කර ගැනීම සදහා ඉදිරි මාස වලදී දෙරට අතර යළි සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි. ඉන් අනතුරුව ‘නාවික හමුදාව ශක්තිමත් කරන’ බවටද අමාත්‍යවරයා සහතික වී තිබේ.
“ආයෙත් බලන්න ඕනේ. සාකච්ඡා මාර්ගයෙන් මේකට සුදුසු ප්‍රවේශයක් අත්හදා බලන්න ඕනේ. ඒ ප්‍රවේශය අනුව සැප්තැම්බර් මාසයේ අවසන් කාලයේ එහෙම නැත්නම් ඔක්තෝබර් පළමුවෙනි සතියේ අපි ඉන්දියාවත් එක්ක, තමිල්නාඩුවත් එක්ක අපි සාකච්ඡාවක් කරන්න සැලැසුම් කර තියෙනවා. ඒකට ආරාධනාවක් ලැබිලා තියෙනවා. ”
අදියර 3කින් ඉන්දියාව සහ තමිල්නාඩුව එක්ක අලුත් සාකච්ඡා වටයක්
එම සාකච්ඡා අදියර තුනක් යටතේ සිදු කිරීමට බලාපොරොත්තු වන බව ධිවර සංගම් නායකයන් හමුවේ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසා ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාවගේ ගැටලු සෘජුවම හඳුනාගෙන ඒවාට ස්ථිර විසඳුම් ලබාදීමේ අරමුණින් සංවිධානය කරන ලද මන්නාරම දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දීය.
“ඒ ආරාධනාවට අනුව අපි බලන්නේ මොකක්ද කියලා කිව්වොත්, ඉන්දියාවට ගිහින් මුල් අදියරේ සාකච්ඡාව කරන්නේ නිලධාරින් අතර - ධීවර අමාත්‍යාංශයේ ඉන්න නිලධාරින් එක්ක සාකච්ඡාවක්. දෙවෙනි සාකච්ඡාව, ධීවර සංගම් අතර කරන සාකච්ඡාවක්. ඊළඟ අදියරේ සාකච්ඡාව අමාත්‍යාංශ අතර සාකච්ඡාවක්. එහෙම තමයි වෙන් කරලා තියෙන්නේ.”
බත්තලන්ගුණ්ඩුවටත් එන ඉන්දීය යකඩ බෝට්ටු තර්ජනය
මන්නාරම් මුහුදු තීරය පමණක් නොව පුත්තලම් මුහුදු තීරයේද ඉන්දීය ධීවර යාත්‍රා ආක්‍රමණයක් සිදුවන බව බත්තලන්ගුන්ඩුව වික්ශෝප මාතා ධීවර සංගමයේ ලේකම් ඇන්ටන් ෆොන්සේකා ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.
ඔහු වැඩි දුරටත් කියා තිබුනේ තමන්ගේ ෆයිබර් බෝට්ටු යකඩින් තැනූ ඉන්දීය බෝට්ටු හා ගැටුනොත් විනාශ වී යාමේ අවදානමක් පවතින බවයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පළමු ඉන්දීය නිල සංචාරය නිමාවී දෙසතියක් ගත වීමටත් මත්තෙන් 2024 දෙසැම්බරයේ ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කර තිබුනේ ශ්‍රී ලංකා මුහුදු පතුල සූරාගෙන යන ඉන්දීය යාත්‍රා සම්බන්ධයෙන් දේශපාලන නායක මට්ටමේ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන්නේ නැති බවයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධිවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ධිවර සංගම් නායකයන් සමග පැවැති මන්නාරම දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අමාත්‍යවරයා තව දුරටත් පවසා ඇත්තේ ඉන්දියානු ධීවරයන් මෙරට මුහුද ආක්‍රමණය කිරීම නවතාගැනීම වෙනුවෙන් සාමකාමී විසදුමක් ලබා ගැනීමට මුල් තැනක් දෙන බවයි.
“ඒ නිසා මිත්‍රවරුණි, මේ ඉන්දිය ට්‍රෝලර් යාත්‍රා සම්බන්ධ ප්‍රශ්නයට දීර්ඝ කාලීන විසඳුමක් ගන්න පුළුවන් ද බැරි ද කියන එක අපි බලන්න ඕනේ. ඒකෙනුත් සාමකාමී විසඳුමක් ලබා ගන්න පුළුවන් ද කියලා අපි බලන්න ඕනේ ඒ මාර්ගයෙන්. ඊළඟ අදියර විදිහට තමයි අපි පියවර ගන්න ඕනේ. ඒකේ පළවෙනි අදියර විදිහට සාකච්ඡා මාර්ගයෙන් කරන්න පුළුවන් දේවල් කරලත්, ඒ වගේම නාවික හමුදාවට අපි භාරදීලා තියෙනවා එයාලාගේ ක්‍රියාවන් ගැන බලන්න. ඒකට බාධාවක් නැහැ. ඒ නිසා නාවික හමුදාවත් ටිකක් ශක්තිමත් කරන්න අවශ්‍ය දේවල් කරන්නත් ඕනේ.”
ධීවර ප්‍රජාවගේ ගැටලු සෘජුවම හඳුනාගෙන ඒවාට ස්ථිර විසඳුම් ලබාදීමේ අරමුණින් උතුරු නැගෙනහිර දෙපළාතේ දිස්ත්‍රික්ක කිහිපයකම සංවිධානය කරන ලද ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සදහා අමාත්‍යවරයා මේ සතියේ සහභාගී වී තිබුනි.
කොළඹ එක්දින නිල සංචාරයක නිරත වුනු ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි ධීවරයින්ට අදාළ ගැටළු පිළිබඳව ද සාකච්ඡා කොට තිබුණු අතර, ශ්‍රී ලංකාවේ රඳවා සිටින ධීවරයින් සහ බෝට්ටු ඉක්මනින් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ඉල්ලා තිබුණි.
දෙසැම්බරයේ දැඩි ස්ථාවරය ලිහිල් වුණේ ඉන්දීය විදේශ ලේකම්ගේ සංචාරයෙන් පසුවද?
“විවිධ ගැටළු විසඳීම සඳහා ද්විපාර්ශ්වික යාන්ත්‍රණයන් අඛණ්ඩව කටයුතු කරන අතරම, ධීවරයින්ගේ ජීවනෝපාය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මානුෂීය ප්‍රවේශයක් අපගේ ප්‍රවේශයට මඟ පෙන්විය යුතු බව ද ඔහු ඉල්ලා සිටියේය,” යි සංචාරය හමාරයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය අගෝස්තු 5 දා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
උතුරේ ධීවරයන් සෑහීමකට පත්වන තිරසාර විසඳුමක් නොදී දිල්ලියේදී නිමාවුනු නරේන්ද්‍ර මෝදි හා අනුර දිසානායක මුල්ම රාජ්‍ය නායක සාකච්ඡාවලින් අනතුරුව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් 2024 දෙසැම්බරයේ යාපනයේදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයට පත් කළේ සියළු සාකච්ඡා හමාර බවයි.
“මීට පස්සේ සාකච්ඡා නෑ. ඔක්කොම සාකච්ඡා ඉවරයි. කවුරු එක්කවත් මින් පස්සේ සාකච්ඡා නෑ.”
ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඉන්දීය නිලධාරීන් අතර සාකච්ඡා නතර නොවන නමුත් ඒ සාකච්ඡා දිගටම සිදු කෙරෙන්නේ තාක්ෂණික, වෘත්තීය ඇතුලු වෙනත් කාරණා සම්බන්ධයෙන් පමණක් බවත් අමාත්‍යවරයා එහිදී පවසා තිබුනි.





