"එය යුද ඉලක්කයක් නෙවෙයි; ගොදුරු වූයේ අහිංසක දරුවන්" - සටන් විරාම නිරීක්ෂකයන්ගේ සහ UNICEF සංවිධානයේ වාර්තා යළි කරළියට
දශක දෙකකට ඉහත දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රහාර එල්ල කොට මරා දැමූ පාසල් දැරිවියන් පනස් හතර දෙනකු ඇතුළු 61දෙනෙක් යුද පිඩිත මුලතිව්හි ස්ථාන දෙකක දී අනුස්මරණය කර තිබේ.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපති සමයේ 2006 අගෝස්තු 14 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මුලතිව්, වල්ලිපුනම්හි සෙන්චෝලේ ළමා නිවාසයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් එහි සිටී පාසැල් දැරිවියන් 54 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 7ක් ඝාතනය වී තිබුනි.
එකසිය පනහකට වැඩි පිරිසක් බරපතල ලෙස තුවාල ලැබූහ. ඇතැමෙක් සදාකාලයටම ආබාධිත වූහ.
කඳුළු සහ පහන් දැල්වුණු 20 වැනි අනුස්මරණය
බෝම්බ හෙළා මරා දැමුණු දැරිවියන්ගේ ඥාතීහු 20 වැනි වතාවටත් 2026 අගෝස්තු 14 වැනි සිකුරාදා මුලතිව් ඉඩෙයික්කට්ටු හංදිය ආසන්නයේ ළමා නිවාසය පිහිටා තිබු භූමියට රැස්ව ඝාතනයට ලක් වු තම සමීපතමයන් සිහි කරමින් මලින් පහනින් ඔවුන් අනුස්මරණය කර ඇත්තේ වන්නි දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී තුරෙයිරාජා රවිහරන්ගේ ප්‍රධානත්වයෙනි.
ඝාතනයට ලක් වු පාසල් දැරිවියන්ගේ ඡායාරූපද සහිතව මුලතිව්, වල්ලිප්පුනම් ප්‍රදේශයේ සිදු කළ අනුස්මරණයේ ප්‍රධාන පහන් සියළු දල්වන ලද්දේ ප්‍රහාරයෙන් ඝාතනය වු සෙල්වම් නිරෝජනී සිසුවියගේ මැනියන් වන සෙල්වම් මේරී පුෂ්පලතා විසිනි.
එම අනුස්මරණය සදහා ඝාතනයට ලක්වු සිසුවියන්ගේ ඥාතීන්ට අමතරව වන්නි දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී තුරෙයිරාජා රවිහරන් හා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශිය සභා නියෝජිතයන්ද එක්ව සිටි බවයි පලාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
ප්‍රථමාධාර පුහුණුවකට එල්ල වූ බෝම්බ වරුසාව සහ රජයේ මතය
ආපදාවන්ට මුහුණ දීම සහ ප්‍රථමාධාර ලබාදීම පිළිබඳව සිසුවියන් සඳහා වූ වැඩ මුළුවක් මුලතිව් දිස්ත්‍රික්කයේ වල්ලිපුනම් හි සෙන්චෝලේ අනාථ නිවාසයේ පැවැත්වෙද්දී 2006 අගෝස්තු 14 දා හෙලන ලද සුපර්සොනික් ප්‍රහාරක යානා බෝම්බ වැලකින් සිසුන් ඝාතනය වීම ගැන ඒ සමයේ ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සෙන්චෝලේ එල්ටීටීඊ යුද පුහුණු කඳවුරක් බවට චෝදනා කරමින් ප්‍රකාශ කළේ එය යුක්ති සහගත ඉලක්කයක් බවයි.
එසේ වෙතත්, ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු උතුරේ රාජකාරියේ යෙදී සිටි සහන සේවා ගණනාවක් විසින් තහවුරු කරන ලද පරිදි සෙන්චෝලේ අනාථ නිවාසය කිසිදු යුද පුහුණු ආයතනයක් නොවේ.
ජාත්‍යන්තර නිරීක්ෂකයන් හා UNICEF තහවුරු කළ සත්‍යය
සටන් විරාම නිරීක්ෂණ කමිටු ප්‍රධානී උල්ෆ් හෙන්රික්සන් ප්‍රකාශ කර තිබුනේ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එතැනට ගිය තම නිරීක්ෂකයන්ට දැක ඇති පරිදි ප්‍රහාරයට ලක්වී ඇති ස්ථානයේ කිසිදු හමුදා ස්ථාපනයක් හෝ ආයුධ තිබූ බවට සාක්ෂියක් නැති බවයි.
“මේ ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්ව ඇත්තේ අහිංසක දරුවන් යැ,” යි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක අධ්‍යක්ෂිකා ඈන් මාග්‍රට් වෙනෙමන් කියා තිබුණි.





